වයසත් සමග අබල දුබලව වැහැරෙන්නාසේ සමාජ ව්‍යාපාරයක් මහලූවිය හැකිද?
මිනිසෙකු දැවැන්ත පෞරුෂයකින් යුතුව සමාජයට මහ මෙහෙවරක් කර වයසට යද්දී ඔහුට සමාජය ප‍්‍රණාම දක්වති. සමාජ ව්‍යාපාරයකටත් එසේ සමාජ ගෞරවයක් ලබා ගත හැකිද…?
සිය ළදරු වියේ ද, භද්‍ර යෞවනයේ ද, තරුණ වියේ ද, මැදි වියේ දී ද සාපේක්‍ෂ ධෛර්යවන්ත බාවයකින් සමාජයට කිව නොහැකි මෙහෙවරක් කුළ දැවැන්ත සමාජ ව්‍යාපාරයක් වයෝවෘද්ධ මිනිසෙකු මෙන් රෝ පීඩා වැළඳ, දෙන දෙයක් කා එන හැටියට ජීවත්වන්නට සිදුව තිබෙන අයුරු ලංකා සමසමාජ පක්ෂයේ අද දවස සිහිපත් කරන විට අපට පෙනෙන්නට තිබේ.
මේ ශෝක සිහිපත් කිරීම වසර හැත්තෑ පහ පසුගිය වසරේ දෙසැම්බර් 18 වනදාට සැමරූ ලංකා සමසමාජ පක්‍ෂය වෙනුවෙනි. ලංකාවේ දේශපාලන පක්‍ෂයක් දුගී ජනතාවගේ සමාජීය භාවය ඔසවා තැබීමටත්, ඒ හා සමගම දැනුමැති සමාජය මතට විශාල සම්ප‍්‍රදානයන් කිරීටමත් සම සමාජ පක්‍ෂය තරම් සමත් වූ කිසිම දේශපාලන පක්‍ෂයක් ලංකාවේ බිහි වී නැත.
ලංකාවේ තරමටත් වඩා අත්පත් කර ගත හැකි ඉහළම දැනුම සම්භාරයක් හිමි කර ගත් දැවැන්ත ශාස්ත‍්‍රඥයන් පිරිසක් ආරම්භයේ සිටම ලංකා සමසමාජ පක්‍ෂය මෙහෙය වූහ. ඔවුන් දැනුමෙන් පමණක් නොව අවංක භාවයෙන් ද ශ්‍රේෂ්ඨත්වයට පත්වූවෝ වෙති. ඒ අවංක භාවය පිළිබඳ කිසියම් අයෙකුට සැකයක් වෙතොත් ඒ නායකයන් තම දැනුමට සරිලන ලෙස ලෝකයේ ලැබිය හැකිව තිබූ අවස්ථා අත්හැරිය ප‍්‍රමාණය සැලකිල්ලට ගත යුතුය.
ලංකාවේ ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී උගතෙකු වන ආචාර්ය සරත් අමුණුගම සමසමාජ නායකයන් සමාජ ව්‍යාපාරයකට එක්තැන්වීම පිළිබඳ සිය විශ්මය පළකරන අයුරු බලන්න. මේ උපුටා ගැනීම ඔහු විසින් රචිත ‘අන්තිම කැමැත්ත’ කෘතියෙනි.
‘‘අද මිනිස් වර්ගයා සිටින්නේ සිතාගත නොහැකි දියුණුවක් හමුවේය යන්න පොදුවේ පිළිගත් විශ්වාසයකි. අනාගතය ගැන එවැනි අනාවැකි කෙසේ වුවද තම මුලූ ජීවිතයම අසරණයන් වෙුනවෙන් කැප කළ නායකයන්ගේ අවංකත්වය හා කරන ලද සේවය ගැන මත බේදයක් ඇති විය නොහැකිය. තමන් විසූ දේශපාලන වාතාවරණයේ සිරකරුවන් වූ ඔවුහු සිය දර්ශනය කෙසේ වුවද මෙරට දේශපාලනයේ ආදර්ශමත් චරිත වූහ. ඇන්. ඇම්. කොල්වින් ලෙස්ලි හා බර්නාඞ් වැනි නායකයෝ ඉතාම කලාතුරකින් දැකිය හැකි සත් පුරුෂයෝ වූහ. එකම පක්‍ෂයක් තුළ මෙවැනි සත් පුරුෂයන් කණ්ඩායමක් එක්වන්නේ කලාතුරකිනි. ඔවුන් සියලූදෙනාම දේශපාලනයට පිවිසියේ සිය මානව දයාව නිසාය.’’
ආරම්භයේදිම ඔවුන් මාක්ස්වාදයේ ට්‍රොට්ස්කිවාදී ගෝත‍්‍රයට අයත් වූහ. අනභිභවනීය බුද්ධිමතුන් රාශියක් එකට එකතුවීම නිසාදෝ පසුකාලීන මාක්ස්වාදයේ වඩාම බුද්ධිමය දාර්ශනික ධාරාව වූ ට්‍රොට්ස්කිවාදය නියෝජනය කරන ව්‍යාපාරය බවට ඔවුන් පත්වූහ. බලයට පත්වීමේ විභවයක් තිබූ ලෝකයේ ඉහළම ට්‍රොට්ස්කිවාදී දේශපාලන පක්‍ෂය බවට සමසමාජ පක්‍ෂය පත්විය.
ළදරු සෝවියට් දේශය තුළ ලෙනින්ගෙන් පසුව ඇති වූ බල හටනේ දී ට්‍රොට්ස්කි විනාෂ කිරීමට අනෙක් පිල සමත්විය. එතැන් සිට ලෝකයේ ට්‍රොට්ස්කිිවාදින්ට ලෝක සමාජවාදයේ ගතිකයන් ආරක්‍ෂා කරමින් එය ප‍්‍රවර්ධනය කිරීමටත්, ඇති වූ සෝවියට් හා චීන පන්නයේ සමාජවාදය තුළ පිළිළයක් මෙන් ඔඩු දුවන නිලධාරිවාදය පෙන්වාදීමත් යන අරගල දෙකක ක‍්‍රියාධරයන් වීමට ඔවුනට සිදු විය. ලංකාව තුළ දී සමසමාජ පක්‍ෂය බර සාර ලෙස එම අරගල දෙකෙහිම නිරත විය.
අසූව දශකයේ මුල්භාගයේ පෙරස්ත්‍රොයිකා ප‍්‍රතිසංස්කරණයන් සමග පුපුරා ගියේ ලෝක සමසමාජ කාරයන්ගේ ඒ පෙන්වා දීමයි. එහෙත් කඩා වැටුණු සෝවියට් සමාජවාදය වැටුණේ ස්ටැලින්වාදින්ගේ හිස මතට පමණක් නොව ට්‍රොට්ස්කිවාදින්ගේ හිසමතට ද ඒ මහා බර පතිත විය. ඒ ඇදවැටුණු ප‍්‍රාකාරයේ නටබුන් අතරින් නැගී සිටීමට හැකි යෝධයන් සම සමාජ පක්‍ෂයට නැති විය. අද සමාසමාජ පක්‍ෂය මෙතරම් රෝගී වී සිටින්නේ ඒ බිඳ වැටුණු තැනින් නැඟී සිටීමට අවශ්‍ය ඇට්ලස් යෝධයන් නැතිකමනි.
ලංකා සම සමාජ පක්‍ෂය 20 වන සියවසේ ප‍්‍රමුඛම දේශපාලන පක්‍ෂයයි. වැඩසවම් සමාජ ක‍්‍රමයට එරෙහි විකල්පය පෙන්වාදුන් ප‍්‍රධානම දේශපාලන පක්‍ෂය එයයි. අශිෂ්ට රදළවාදයට එරෙහිව මානව බන්ධුත්වයේ ශිෂ්ටාචාරවත් උරුමය පෙන්වා දුන් දේශපාලන පක්‍ෂය එයයි.
ජාතින්, උඩ පහතරට, කුලමල වශයෙන් සංවිධානය වූ දේශපාලනික අත්තනෝමතිකත්වය රජ වූ පක්‍ෂ දේශපාලන රටාවට සමානත්වය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මානව හිමිකම් ආදිය පිළිබඳ වැදගත් අදහසක් නොතිබූ යුගයක ඒවා හඳුන්වා දුන්නේ ලංකා සමසමාජ පක්‍ෂයයි.
බලගතු ව්‍යවස්ථාවකින් ආරක්‍ෂාවෙමින්, ඕනෑම ආකාරයක දේශීයත්වයක් ආරූඨ කර ගත හැකි අද ද අධිරාජ්‍යවාදී කුමන්ත‍්‍රණ ගැන ඇතමුන් සිහිනෙන් අවදිව නන් දොඩවති. එහෙත් එදා ඇත්ත අධිරාජ්‍යවාදීන් සමග මුහුණට මුහුණලා සටන් කළේත්, ඒ සටන් නිසා හිරබත් කෑවේත්, අවසානයේ ජයග‍්‍රාහී අන්තයක් කරා ඒ අරගලය ගෙන ගියේත් ලංකා සමසමාජ පක්‍ෂයයි.
එදා වතුකරයෙන්, නාගරික කම්කරු පංතියෙන් සහ මුහුදු කරයේ ජීවත්වූ පීඩිත සටන්කාමී ජනයා විසින් සම සමාජ නායකත්වයෙන් යුතුව අධිරාජ්‍යවාදයට එරෙහිව කළ අරගලය නොවන්නට 1948 පෙබරවාරී 04 වන දා ලංකාවට නිදහස නොලැබෙන්නට ඉඩ තිබුණි. මේ යන විදිහට ගියහොත් ලංකා සමසමාජ පක්‍ෂය ආණ්ඩු බලය අල්ලා ගනු ඇති බවත් එසේ බලයට පත්වන සම සමාජ ආණ්ඩුව සමග ගනුදෙනුව පහසු නොවනු ඇති බවත් සර් ඔලිවර් ගුණතිලක, සෝල්බර් සාමි ආදීන් බි‍්‍රතාන්‍යයට කරුණු කීහ. එහි ප‍්‍රතිඵලය වූයේ තමන්ට පාලනය කළ හැකි ඞී. ඇස්. සේනානායක වැනි පිරිසකට බලය පැවරෙන සේ ඩොමීනියන් තත්ත්වයේ නිදහසක් බි‍්‍රතාන්‍යයන් විසින් ලබා දීමයි.
ලංකා සම සමාජ පක්‍ෂය ලංකා දේශපාලනයට කාන්දු කළේ සටන්කාමීත්වය පමණක් නොවේ. දේශපාලනය බුද්ධිමය ව්‍යාපාරයක් බව ද, ප‍්‍රජාතන්ති‍්‍රක හා මනුෂ්‍යත්වය ද ඒ තුළ අන්තර්ගත විය යුතු බව ද සම සමාජ නායකයෝ භාවිතයෙන්ම ඔප්පු කළෝය.
සමාජ සුභ සාධනය පිළිබඳ අදහසක් ඉදිරිපත්ව නොතිබූ යුගයක දෙවන රාජ්‍ය මන්ත‍්‍රණ සභාවට තේරී පත්වූ ආචාර්ය එන්. එම්. පෙරේරා (රුවන්වැල්ල* සහ පිලිප් ගුණවර්ධන (අවිස්සාවේල්ල* ඒ සඳහා විශාල සටනක් රාජ්‍ය මන්ත‍්‍රණ සභාව තුළ දියත් කළෝය. රාජ්‍ය මන්ත‍්‍රණ සභාව තුළ සමාජ සුභසාධනය පිළිබඳ බලවත් අදහසක් ඇති කිරීමට හැකියාව ලැබුණේ ඔවුන් නිසාය. නිදහස් අධ්‍යාපන ක‍්‍රමයක් සකස් කිරීම, රාජ්‍ය අංශ තුළින් දියුණු වූ සෞඛ්‍ය, තැපැල් හා ගමනාගමන ක‍්‍රමයක් හඳුන්වාදීම, ප‍්‍රාදේශීය පරිපාලන ක‍්‍රමය සංශෝධනය කිරීම වැනි සියලූම අංශවලට යුගයට එහා ගිය ප‍්‍රගතිශීලී ක‍්‍රියාමාර්ග ඇතුළත් කළෝය.
ප‍්‍රභූ පංතියක් අත පැවතුණු ගම්බද පරිපාලනය ග‍්‍රාම සේවකයන් පත් කිරීම දක්වා වූ අරගලයේ නියමුවෝ සම සමාජ නායකයන්ය. උඩ පහතරට රටේ මහත්තුරු හා මුදලි මුනින්දරම්වරු ද ඔවුන්ට ඉහළින් සිටි සුදු සිවිල් සේවකයන් ද ගමත් රටත් පරිපාලනය කළෝය. දෙවන මන්ත‍්‍රණ සභාව නියෝජනය කළ සමසමාජ මන්ත‍්‍රීවරු දෙපළගේ මැදිහත්වීමෙන් ලංකාවේ ‘රටේ මහත්තුරු’ ක‍්‍රමය අහෝසි කරන ලදී. ඒ වෙනුවට උප දිසාපති තනතුරු ස්ථාපිත කරන ලදී. ඔවුන් පත් කර ගැනීමේ පදනම වූයේ බලය, ධනය හා පරම්පරාව නොව දැනුම හා උගත්කමයි. මේ ප‍්‍රතිසංස්කරණ මාලාව ඉදිරියට යමින් ගම්මුලාදෑනියා වෙනුවට ග‍්‍රාමසේවා නිලධාරි ක‍්‍රමය 1956ට පසුව ඇති කරන ලදී.
නිදහස් අධ්‍යාපනයේ ආදි කතෘවරයා සී. ඩබ්. කන්නන්ගර හෝ ඒ. රත්නායක විය හැකිය. එහෙත් එම අදහස රට තුළ ජනිත කිරීමේත්, තම පක්‍ෂයේ උද්ඝෝෂණ ව්‍යාපෘති තුළට ඇතුලූ කිරීමේත්, ගෞරවය හිමිවිය යුත්තේ ආචාර්ය ඇන්. ඇම්. පෙරේරාටය. ඔහු නියලූනු අධිරාජ්‍ය විරෝධී අරගලයේ ප‍්‍රතිඵලයක් ලෙස සිරගෙයට නියම වූ පසු රචිත ‘නිදහස් අධ්‍යාපනයක් අවශ්‍ය ඇයි…?’ කෘතිය මෙම සංකල්පය තීරණ ගන්නන් වෙත බලපෑමක් කළේය.
පොන්නසියා හා සිඞ්නි වනසිංහ විසින් රචිත කෘතියක් අනුව යමින් ආචාර්ය සරත් අමුණුගම මෙසේ ලියයි.
‘‘ලංකාවේ නියම කම්කරු පංතිය වූ දෙමළ වතු කම්කරුවන් වෙනුවෙන් ද මුලින් හඬක් නැගුවේ සම සමාජ මන්ත‍්‍රීවරුන්ය. එම අවධියේ මේ කම්කරුවන්ට නායකත්වය දීමට සම සමාජ පක්‍ෂය බලවත් සටනක යෙදුනෝය. ඔවුන්ගේ මානව හිමිකම් මෙන්ම ආර්ථික ඉල්ලීම් ඉස්මතු කළේ සම සමාජ පක්‍ෂයයි. මුල් ඔය සටන සමග දියත් කළ වතු ස්ට‍්‍රැයික් රැුල්ල සුදු අධිරාජ්‍යවාදීන් බිය වැද්දීමට තරම් ප‍්‍රබල එකක් විය. ලංකාවට නිදහස දීමට අධිරාජ්‍යවාදීන් කල්පනා කළේ ලංකා ජාතික කොංග‍්‍රසයේ ඉල්ලීම්වලටත් වඩා නැඟී එන සම සමාජයට බියෙනි. මේ කරුණු දැන් එංගලන්තයේ ලේඛනාගාරවලින් අනාවරණය වෙයි.’’
ලංකාවේ දේශපාලනය පිළිබඳ කතිකාවේදී සම සමාජ පක්‍ෂයේ කැපකිරීම් සිහිකළ හැක්කේ අතිෂය හැඟුම් බරවය. අද දුප්පතුන් අත්විඳින වරප‍්‍රසාද සියල්ලම පාහේ මුලින්ම ජාතික දේශපාලන න්‍යාය පත‍්‍රයට ඇතුළත් කළේ එම පක්‍ෂයයි. ඔවුන්ගේ තවත් වැදගත් සේවයක් වූයේ ජාති ආගම් කුල භේදවලින් තුරන්වූ එකමුතු ලංකාවක් ඇති කිරීමේ අභිප‍්‍රාය නොයෙක් දුෂ්කරතා මැද රැුක ගැනීමයි. සුලූ ජාතිකයන්ට හඬක් නොමැති අවධියක සම සමාජ පක්‍ෂයේ සත් පුරුෂයෝ ඔවුන් වෙනුවෙන් හඬක් නැගූහ. එම ප‍්‍රතිපත්ති ගරුක ක‍්‍රියාදාමය නිසා එක්සත් ලංකාවක් ගැන අදහස තවම මෙරට රැුඳී තිබේ. එවන් සිහිනයක් සැබෑ කරවීමට ඔවුන් නොකළ පරිත්‍යාගයක් නොවිඳි දුකක් නැත. එය නම් ප‍්‍රතිපත්ති ගරුක දේශපාලනයේ අමරණීය මොහොතකි.
-අමුණුගම-
මේ සා කැපකිරීම් බහුල දේශපාලන පක්‍ෂයක් අද 75 වන වියට පැමිණ තිබේ. එය අතිෂය උද්වේගකර සැමරුම් අවස්ථාවකි. අද වමේ පක්‍ෂ වශයෙන් පැටව් ගසා ඇති දේශපාලන පක්‍ෂ සම සමාජ උරුමයේ කොටස්කරුවන්ය. එහෙත් ඔවුන් සම සමාජ පක්‍ෂය 75 වන වසර සමරන විටවත් එයට සුභ පැතීමට නොසිතන්නේ මන්ද…?
අද ලංකා සමසමාජ පක්‍ෂය සටන්පාඨ හා තේමාවන් අහිමි සමාජ ව්‍යාපාරයක් බවට පත්ව තිබේ. මඟුල් ඇතා හිමිවුණු ගම්බද ගොවියෙකුට අත්පත් වූ ඉරණම ලංකා සම සමාජ පක්‍ෂයේ වත්මන් නායකයන්ට අත්ව තිබේ. මේ සා විශාල ව්‍යාපාරයක් වර්තමානය හා අනාගතය හරහා ගමනක් යාමට නම් හැමදෙයක්ම යාවත් කාලීන කළ යුතුය. එහෙත් ඒ සඳහා වන ගාමක බලයක් අහිමිවීමේ ඛේදනීයත්වය ලංකා සම සමාජ පක්‍ෂය අද භුක්ති විඳිමින් සිටී.
බර්නාඞ් සොයිසා මිය ගිය බව ආරංචිවන විට මා සිටියේ මහාචාර්ය සුදර්ශන සෙනෙවිරත්නගේ දේශනයකට සවන් දෙමිනි. ඒ ඇසූ එතුමාට එකවරම කියවුණේ එක්තරා අපූර්ව යුගයක් එයින් අවසාන වූ බවයි. සැබැවින්ම එය සත්‍යයක් නොවේද…? බර්නාඞ් සොයිසා හා හෙක්ටර් අබේවර්ධන හැර අන් කිසිදු පැරණි සම සමාජ නායකයෙක් 21 වන සියවස නොදැක්කේය. එහෙත් එන්. ඇම්., කොල්වින් ඇතුලූ හැමෝම 21 වන සියවසේ ප‍්‍රතිෂේපනයන් එය එළඹෙන්නටත් බොහෝ කාලයකට පෙරම දුටුවෝය. 1978 ව්‍යවස්ථාව පිළිබඳ එන්. ඇම්. කල්තියාම දුටු සත්‍යයන් සිය විවේචනාත්මක විශ්ලේෂනයක් කෘතියේ අපූරුවට විවරණය කොට තිබේ. එය පරයා යන මා හැඟි විවේචනයන් එය සැබෑවට අත් විඳින අදටත් ජීවත්වන දේශපාලන විද්වතෙකු අතින්වත් තවම ලියවී නැත. 1998 ව්‍යවස්ථාව සම්මත කර ගත් වසරේම එහි විපාක නොදැකම එන්.එම්. දිවංගත විය. එහෙත් ඔහුගේ ප‍්‍රඥා ඇසට, අන්වීක්ෂීය දැක්මට ඒ ව්‍යවස්ථාවේ නපුරු දුෂ්ඨත්වය එහැම පිටින්ම නිරීක්ෂණය විය. ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා ද ඒ ආකාරයෙන්ම ජේ. ආර්. ගේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ දුෂ්ටත්ව නිරුවත් කළේ මහාඥානවන්ත බවකිනි. සැබවින්ම 1978 ව්‍යවස්ථාවේ සැබෑව හා ඒකාධිපති ස්වරූපය හෙළි කරමින් එයට එරෙහි මතය පලකළ මහා දේශපාලන ප‍්‍රවාහය දියත් වූයේ ලංකා සම සමාජ පක්‍ෂයෙනි. එදා ඔවුනට අද මෙන් නොව පාර්ලිමේන්තුවේ එකදු ආසනයක්වත් නොවීය. එහෙව් ව්‍යවස්ථාව තවත් අත්තනෝමතික කරන 18 වන සංශෝධනයට හරයාත්මක සහයක් සමසමාජ පක්‍ෂයේ නායකත්වයෙන් අද ලැබීම ඉතිහාසයේ බලගතු සරදමක් නොවන්නේද…?
ලංකා සම සමාජ පක්‍ෂයේ මුල් පනස් වසර මා දකින්නේ නාට්‍යකාර ආකාරයෙනි. එය එකවර දේශපාලන ව්‍යාපාරයක්ද සමාජ ශාස්ත‍්‍රිය ව්‍යාපාරයක් ද යන භූමිකා දෙකම නිරූපණය කළේය. පංති හැඟීමෙන් ආඩ්‍යවූ දුෂ්කර සමාජ වෙනසකට කැපවුණු කම්කරු පංති ජනයා එකළ දිවි දෙවෙනි කොට සැලකූ දේශපාලන පක්‍ෂය සම සමාජයයි. එමෙන්ම බුද්ධිමය සංවාද විශ්ලේෂණ සිදුවන මණ්ඩපයක් ලෙස ද, සමාජ යුක්තිය පිළිබඳ විසුරුණු හැඟීම් සහිත මැද පාංතික බුද්ධිමතුන්ගේ ආකර්ෂණීය ගොනුවක් ලෙස ද, ලංකා සම සමාජ පක්‍ෂය ක‍්‍රියාත්මක විය. ලංකාවේ විශ්ව විiාල සමූහය අද මෙන් නොව එදා සැබෑ බුද්ධිමතුන්ගේ පිය පහස ලැබූ අනවරථ ලෙස බුද්ධිය සම්පාදනය වූ නිකේතන විය. ඒ සඳහා වන ගාමක ශක්තිය මහාචාර්ය සරච්චන්ද්‍ර, සිරිගුණසිංහ, හෙට්ටි ආරච්චි, පරණවිතාන, රම්මණ්ඩල, ඩොරික් සුසා වැනි බුද්ධිමතුන් විශ්ව විiාලය තුළින් සපයන විට සම සමාජ පක්‍ෂය වටා ගොනුවූ ශිෂ්‍ය ව්‍යාපාරය සම සමාජ බුද්ධිමතුන් හරහා ඒ ශක්තිය ලබා ගත්තෝය. සම සමාජ නායකත්වය සමාජ ව්‍යාපාරයන්ගෙන් බැහැර වන විට විශ්ව විiාල ද බුද්ධිමය ආයතන වශයෙන් සිය සුජාත භාවය අහෝසි කර ගත්තේය. ඒ බව අද විශ්ව විiාල තුළින් සිදුවන දේවලින් මනාව දැක ගත හැකිය.
මෑත අවුරුදු තිහ තිස් පහ තිස්සේ සිදුවන සමාජ දේශපාලන අකටයුතුකම් හා ව්‍යසන අසන දකින ඇතමුන් හරි හමන් වමක් තිබුණානම් මේවා මෙසේ වන්නේ නැතැයි කියයි. එය සැබෑවකි. ලංකා සම සමාජ පක්‍ෂය උද්ඝෝෂණවලට වඩා අරගල කළ දේශපාලන පක්‍ෂයකි. එහෙයින්ම අතිශය මර්ධනකාරී සුදු පාලකයන්ගේ පාලන වකවානුවල සිට පනස් වසරකට ආසන්න කාලයක් තිස්සේ සමාජයට අත්‍යවශ්‍ය ජයග‍්‍රහණ ලබා දුන්නේත්, රටට අහිතකර බොහෝ අණපනත් වලකාලනු ලැබුවේත් උපක‍්‍රම ද සහිත අරගල නිසාය.
අද මාක්ස්වාදය පිළිබඳ අලූත් කතිකාවක් ලෝකයේ වමේ ව්‍යාපාර තුළ ඇති වෙමින් තිබේ. වෙළඳපල ක‍්‍රමය, පෞද්ගලීකරණය, පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ එදා නොතිබුණු විවේචනාත්මක හා සාධනීය ඇගයීමක් ඒ සංවාද හරහා සමාජ ගත වෙමින් තිබේ. මේ දැනුම ධාරාව සමාජගත කරමින්, නූතනත්වයට ගැලපෙන වාම ව්‍යාපාරයක ශාස්ත‍්‍රීය මණ්ඩපය බවට සිය පක්ෂය පත් කර ගැනීම අද සම සමාජ නායකයන්ගේ වගකීමකි. එමෙන්ම ජාතිවාදයට හා වර්ගවාදයට එරෙහිව සිය අතීත හඬ අවදිකිරීම සම සමාජ පක්‍ෂයේ වගකීමයි. එසේ නැතිව ඇමතිකම් හෝ ආණ්ඩුකරන දේශපාලනයක අඛණ්ඩව යෙදීම සඳහා සිය අතීත උරුමය දිය කර හැරීම කෙතරම් යුක්ති සහගතදැයි තවදුරටත් සිතා බැලිය යුතුය.
චන්ද්‍රරත්න බණ්ඩාර
(2010 ජනවාරි 09 දින ලක්බිම පුවත්පතට සැපයූ ලිපියකි.*