වසන්තයේ අග…

යුද්ධය නැවැත්වීමෙන් ලැබෙන ප‍්‍රතිලාභ, බලාපොරොත්තු වූ තරමට ජනතාවට නොලැබීම පිළිබඳව ටිකෙන් ටික වැඩි වන කනස්සල්ලක් ශී‍්‍ර ලංකාව තුළ නිර්මාණය වෙමින් පවතී. බලාපොරොත්තු කඩවීම එක් අංශයකින් පමණක් නොව අංශ ගණනාවකින්ම සිදුවෙමින් පවතින බව ජනතා මතය ගවේෂණය කරන වියතුන් කිහිප පළක්ම වාර්තා කර තිබිණ.
කිසිදු පුරෝකතනයක් නොකළ හැකි තරමට, අත හැරුණු සරුංගලයක් සේ බඩු මිළ ඉහළ යමින් පවතී. ඉතිහාසයේ පළමුවරට පොල් සහ බිත්තර ද විදේශයන්ගෙන් ආනයනය කිරීමට සිදුව තිබේ. පොල් ද ඇතුලත් වැවිලි කර්මාන්තයට පමණක් නොව පොල් වගාව සඳහාම ඇමතිවරයෙක් හා අමාත්‍යාංශයක් තිබිය දී, බිත්තර නිෂ්පාදනයට අදාළ, සත්ව නිෂ්පාදනයට ඇමතිවරයෙක් හා අමාත්‍යාංශයක් තිබිය දී මේ තත්ත්වය ඇතිව තිබේ. දේශපාලන ස්ථාවරත්වය සඳහා සිය සගයන් සතුටු කිරීමේ වැරදි දේශපාලන උපක‍්‍රමයක් වන ඇමති තනතුරු දීම නිසා 92ක් වන ජම්බෝ කැබිනෙට්ටුවක් නැවත වරක් ජනාධිපතිතුමා පරිවාරයේ සිටී. වැඩ කිරීමට නොහැකියයි යන උපකල්පනය, ඔවුන් කෙරේ වන නොරුස්නාකම ආදි සෘණ ආකල්ප මත පිහිටා ඇමතිවරු කිහිප දෙනෙක් ජේෂ්ඨ ඇමතිවරුන් ලෙස පත්කොට ඇත. මේ ජේෂ්ඨ ඇමතිවරුන් කිරීමට බලපෑ කාරණාම ඇමතිකමක් නොදීමට හේතුවක් කර ගත හැකිය. එහෙත් ගාල කඩාගත් සත්වයෙකු සේ පක්‍ෂයේත්, ආණ්ඩුවේත් මඩ තවරමින් හැසිරෙන මර්වින් සිල්වාට වඩා, බාරගත් හැම කටයුත්තක්ම අවංක භාවයෙන් ඉෂ්ට කළ ඩිව් ගුණසේකර, දක්‍ෂ ඇමතිවරුන් ලෙස හැඳින්වුණු ඒ. එම්. එච්. පවුසි, ආචාර්ය සරත් අමුණුගම, රත්නසිරි වික‍්‍රමනායක, පී. දයාරත්න, අතාවුද සෙනෙවිරත්න වැන්නවුන් අදක්‍ෂ හෝ නොහැකියාවෙන් යුක්ත වූවන් වන්නේ කෙසේද…?
රාජපක්‍ෂ රෙජීමය රටට අත්පත් කර දුන් ජයග‍්‍රහණයන් අතර පළමු වැන්න වන්නේ එල්.ටී.ටී.ඊ යුද්ධය පරාජය කොට එය නිමා කර දැමීමයි. දක්‍ෂ ශල්‍ය වෛiවරයකු, බලවත් ගඩුවකින් දුක් විඳි රෝගියකු ශල්‍ය කර්මයකට භාජනය කොට සාර්ථකව ඒ ගඩුව ඉවත් කිරීම ශල්‍ය වෛiවරයාගේ දක්‍ෂකම කියාපායි. එහෙත් ශල්‍ය වෛද්‍යවරයාගේ කාර්යය එතනින් නිමා වන්නේ නැත. ”මගේ වැඬේ මං කළා” යන හැඟීමෙන් ගඩුව ඉවත් කළ සැනෙන් ඔහුට රෝගියා අත හැර දැමිය නොහැකිය. ඔහු ශල්‍ය කර්මය සඳහා විවර කළ රෝගියාගේ ශරීර අවයව මැසිය යුතුය. තුවාල සුවවීම සඳහා ප‍්‍රතිජීවක ලබා දිය යුතුය. නිසි උපදෙස් හා සායනයන් පවත්වමින් සම්පූර්ණ සුවය ලබන තෙක් රෝගියා මෙහෙය විය යුතුය.
යුද්ධය ජයග‍්‍රහණය කර දීමේ සුවිශේෂී ශල්‍ය කර්මය රාජපක්‍ෂ නම් වූ ශල්‍ය වෛiවරයා මැනවින් ඉෂ්ට කළේය. එහෙත් එතනින් සියල්ල නිමා වන්නේ නැත. නැවත නැවතත් ගඩු හට ගැනීමේ ප‍්‍රවනතාවක් ඇතොත් ඒ සඳහා වන ප‍්‍රතිකාර ඔහු විසින් ලබා දිය යුතුය. ශල්‍ය කර්මය සඳහා විවර කළ ජාතික ශරීරයේ ඉක්මන් සුවය සඳහා සුදුසු ප‍්‍රතිජීවක ලබා දිය යුතුය. ඒ ජාතික ශරීරය අයත් රෝගියාට වෛi කරුණාවෙන් සලකමින් උපදෙස් දෙමින් සායන පවත්වමින් කටයුතු කළ යුතුය.
එහෙත් සිදු වන්නේ එය නොවේ. යුද්ධය නිමා කිරීමෙන් සියල්ල විසෙ`ද්යයි සලකා අවශ්‍ය නිසි ක‍්‍රියාමාර්ග නොගැනීමේ තත්ත්වයක් අද උද්ගත වී තිබේි. තිස් අවුරුද්දක් ක‍්‍රියාත්මක වූ යුද්ධයක් පිළිබඳ සැමරුම් සැනසුම් දායක විය නොහැකිය. ඒ තුළ පවත්නේ කල කිරීම, වේදනාව, ශෝකය, අහිමිවීම පිළිබඳ ඛේද ජනක සංවේදනාය. දෙමළ සමාජය තුළත්, දකුණේ ලක්‍ෂ ගණනින් තම ¥ පුතුන් සොහොයුරන් යුද්ධයට යැවු සිංහලයන් තුළත් ඇත්තේ සමාන වේදනාවකි. ඒ වේදනාවන් එවන් කැපකිරීම් නොකළ අන් අයට වැටහෙන්නේ නැත. එහෙයින් මේ වේදනාත්මක පරිසරය සංයමයෙන් පසු කළ යුතුය.
රාම රාවණ කතාවේ හනුමන් සිහි ගන්වන විමල් වීරවංශ, තවත් අතකින් රජු ආරක්‍ෂා කිරීම උදෙසා රජුගේ ඇෙඟ් වැසූ මැස්සා මැරූ වානරයා සිහිපත් කරයි. වඩාත් සංයමයෙන් ද සුපරික්‍ෂාකාරීව ද පසු කළ යුතු ඉතිහාසයේ මෙවැනි මොහොතක වීරවංශ – මර්වින් සිල්වා වැන්නන් කරන විගඩම් ආණ්ඩුවේ ගෞරවයට හේතු වන්නේ නැත. මර්වින් සිල්වා දේශීයව කරන විගඩම්වලට වඩා වීරවංශ ජාත්‍යන්තර ප‍්‍රජාව ඉලක්කකොට කෙරෙන විගඩම් රටට අත් කර දෙන්නේ කිව නොහැකි තරම් අයහපත් ප‍්‍රතිඵලය. විදේශ කටයුතු පිළිබඳ මැදිහත්වීම් ඒ සඳහා දැන උගත්කම් සහිත නිපුණයන් අතින්ම සිදුවිය යුත්තකි. එසේ නොවූ කළ ඒවායේ බලපෑම් විමල් වීරවංශ කියන ආකාරයේම ”විදේශ කුමන්ත‍්‍රණවලට” පාර කපයි.
වත්මන් රජය කිව නොහැකි තරම් කැලේ ඉන්න නයි ඇෙඟ් දමා ගන්නට රුසියක් දක්වන බව පෙනේ. ඉන් පළමුවැන්න ජනාධිපතිතුමාගේ ඔක්පර්ඞ් ගමනයි. එය රාජ්‍ය තාන්ත‍්‍රික මට්ටමින් සලකා බලා නොවිය යුතුව තිබුණකි. විශාල ලෙස වියදම් වූ මුදලත්, රාජ්‍ය තාන්ත‍්‍රික කීර්තියත්, විනාශ වූ ඒ සංචාරය අන්දමන් ද වී සිටි දෙමළ ඩයසපෝරාවේ කොටි හිතවාදීන්ට තලූ මරා රස විඳින්නට ලබා දුන් හොඳ මස් කට්ටක්ම විය. එහි උණුසුම මඳක් මග හැරී යන විට විමල් වීරවංශ ඇමතිවරයා ජාතික ගීය සිංහලයෙන් පමණක් ගායනය කළ යුතුය යන යෝජනාවක් ආණ්ඩුවට ඉදිරිපත් කළේය. ජනාධිපතිතුමාම එය බැහැර නොකරන්නට ඉන් ඇති වන ජාතික අසහනය එල්.ටී.ටී.ඊ. ඩයසපෝරාවට අපූරු රස මසවුලක් වනු නිසැකය. විමල් වීරවංශ දන්නා දේට වඩා නොදන්නා දේ වැඩි බව යළිත් වරක් ජාතික ගීය ගැයීම පිළිබඳ කාරණයේ දී ඔප්පු කර තිබේ.
ජාතික ගීයක් යනු තමන් උපන් රට කෙරේ වන තම හදවතින් නැගෙන හැඟීම සාරාංශ කොට දක්වන ප‍්‍රධාන සංස්කෘතික අංගයයිි. සිංහල භාෂාවත් එහි ද්වනි ගුණයත් නොදන්නා දෙමළෙකු තමන් උපන් ලංකාව කෙරේ වඩාත්ම හැඟීමක් ඇති වන, දෙමළ බසින් එය ගැයීමේ වරද කුමක්ද…? 1948 ව්‍යවස්ථාව තුළ ‘නමෝ නමෝ මාතා’ සිංහල පදවැලත් දෙමළ කිවියරයෙකු වූ පෙරියතම්බි විසින් කරන ලද එහි දෙමළ පරිවර්තනයක් නමෝ නමෝ තායේ’ වශයෙන් අන්තර්ගතව අනුමතව ඇත. හැමදාම උතුරු නැගෙනහිර පළාත්වල රාජ්‍ය උත්සව වල දී මේ දෙමළ පදවැල නමෝ නමෝ මාතා ස්වර රටාවට අනුව ගායනා කෙරිණ. එහෙත් ප‍්‍රභාකරන් උතුරු නැගෙනහිර ආධිපත්‍ය දරණ සමයේ මෙම ‘නමෝ නමෝ තායේ’ දෙමළට පරිවර්තිත ජාතික ගීය ගායනය මුලූ මනින්ම තහනම් කරන ලදී. අද ප‍්‍රභාකරන් ජීවිතක්‍ෂයට පත් වූ පසු විමල් වීරවංශ ඇමතිවරයා යෝජනා කරන්නේත් ප‍්‍රභාකරන්ගේ ක‍්‍රියාකලාපය ඒ අයුරින්ම ඉදිරියට ගෙන යෑමට නොවේද…?
ලෝකයේ දියුණුු රටවල් ජාතික ගීය ජාතික එකමුතුවේ ප‍්‍රකාශනයක් ලෙස සලකති. කැනඩාව පොදු සම්මුතියක් යටතේ එක්සත් රටක් වූයේ එකම ජාතික ගීය ප‍්‍රංශ බසින් හා ඉංගිරිසි බසින් ගැයීමට ඉඩ සලසා දෙමිනි. ඉන්දියාවේ බහුතර ජනයා හින්දි බස කථා කරන ජනයා වෙති. එහෙත් එහි ජාතික ගීය ලියවී ඇත්තේ වංග බසිනි. එය රචනා කළේ රවීන්ද්‍රනාත් තාගෝර් මහා කවියා විසිනි. මෑත ඉතිහාසයේ ලෝකයට ඉන්දියාවෙන් තිළිණ කළ මහා කලාකරුවා රවීන්ද්‍රනාත් තාගෝර්ය. ප‍්‍රබුද්ධ ඉන්දියානු ව්‍යවස්ථා සම්පාදකයන්ට වැදගත් වූයේ ගීය රචිත බස කුමක් ද යන්න නොව එය ලියා ඇත්තේ කවුද එහි පද වැල විසින් සමස්ථ ඉන්දියාවේ ගරු ගාම්භීරත්වය රැුකේ ද යන්න පමණි. වංග බසින් රචනා වුවත් උර්දු බසින් රචනා වුවත් හින්දියෙන් රචනා වුවත් ඒ සියල්ල ඉන්දියානු මාතාව බිහි කළ ¥ දරුවන්ගේ භාෂා බව තේරුම් ගැනීමේ ප‍්‍රබුද්ධ අන්තර් ඥානය ඉන්දියානු ව්‍යවස්ථා සම්පාදකයන්ටත්, ඒවා සාවධානව ඉවසීමේ පුරවැසි ගුණය ඉන්දියානුවන්ටත් තිබී ඇත.
ලෝකයේ ජාතික ගීය භාෂා දෙකකින් ගයන එකම රට ලංකාව පමණක් බව විමල් වීරවංශ ඇමතිවරයා පවසා තිබේ. එමෙන්ම ඉන්දියාවේ ජාතික ගීය ගැයෙන්නේ හින්දිය නම් වූ බහු ජනතාවගේ භාෂාවෙන් පමණක් බවත් ඔහු පැවසීය. මෙය ඇමතිවරයකුට තරම් නොවන කෙතරම් අමනෝඥ ප‍්‍රකාශයක් ද…? කැනඩාවේ ජාතික ගීය ප‍්‍රංශ බසින් සහ ඉංගිරිසියෙන් ගැයෙන බව අප හොඳාකාරවම දනිමු. ඉන්දියාවේ ජාතික ගීය රචනා වී ඇත්තේ බහුතර ජනයා වහරන හින්දි බසින් නොව සුලූතර වංග බසිනි. එම බස කතා කරන ජනයා ඉන්දීය ජනගහනයෙන් සියයට හයකි. දකුණු අප‍්‍රිකාවේ ජාතික ගීය භාෂා පහකින් කියවේ. (සෝෂා, ලිසොනෝ, ඇප‍්‍රිකාන්, ශුලූ සහ ඉංග‍්‍රීසි යන භාෂා පහෙනි.* ස්විස්ටර්ලන්තය අපට වඩා ප‍්‍රමාණයෙන් හා ජනගහනයෙන් කුඩා රටකි. එහි ජාතික ගීය ප‍්‍රංශ, ඉතාලි, රෝමෝ හා ජර්මන් භාෂාවලින් ගැයේ. සිංගප්පුරුව ජාතික ගීය ගැයීමට ඉංග‍්‍රීසි – මැලේ හා චීන භාෂා තුනක් යොදා ගනී. නවසීලන්තය ඉංග‍්‍රීසි හැරුණු විට ආදිවාසීන් වන මියෝරියන ජනවර්ගයේ භාෂාව ද ජාතික ගීය ගායනයට යොදා ගනී.
රට ආගාධයට ඇද දැමූ යුද්ධයක් අවසාන කළ රජයක් සතු යුතුකම වන්නේ, අනාගතයේ කවර කලකවත් තවත් යුද්ධයක් ඇති වීමට තුඩු දෙන කිසිදු ඉඩකඩක් නොතැබීමයි. සහෝදරත්වයේ පරෙවි පියාපත් වෙනසක් නැතුව සෑම ජාතියක්ම සිසාරා සැලීමයි. මේ මගේ රටය යන හැඟීමෙන් අලූත් හුස්මක් ගැනීමට සෑම ජාතින්ටම මං සැලසීමයි.
රජය එක්තරා සංධිස්ථානයකට පැමිණ තිබේ. ප‍්‍රධාන විරුද්ධ පක්‍ෂය යම් පමණක සුලූ ප‍්‍රබෝධයකට ද පත්ව තිබේ. එහෙයින් වඩාත් සංයමයෙන් තමා අබියස ඇති ආර්ථික සමාජ දේශපාලන ගැටලූ විවරණය කොට ඒවා විසඳා ගැනීමට උත්සාහ නොකළහොත් තත්ත්වය තව තවත් බැ?රුම් වනු නිසැකය.
සංස්කාරක