මෛතී‍්‍ර-පුලතිසි දරුවා

දේශපාලකයන් උදෙසා ගුණ විවරණ ලිවීම එක් කලෙක මගේ වෘත්තීය ජීවිතයේ කොටසක් විය. අවසානයේ රාජ්‍ය සේවයෙන් ඉවත්වී නිදහස් වෘත්තිකයකු වූ පසු ඒ අතීත ලියවිලි ගැන මට ඇතිවූයේ පසුතැවිල්ලකි. නිදහසින් පසු පමණක් නොව, ලාංකිකයන් පාලන තන්ත‍්‍රයට සම්බන්ධ වූ වකවානුවේ සිටම වැරදි මගක රට දක්කාගෙන යාමට එදා මෙදාතුර දේශපාලකයන් නායකත්වය දුන්නේද…?
දේශපාලකයන් සමග ඔවුන්ගේ සහායකයෙකු ලෙස කටයුතු කළ සමයේ එක්තරා අනුමස්මරණීය අවධියක් මට තිබේ. ඒ මෛත‍්‍රීපාල සිරිසෙන මැතිතුමා සමග එතුමාගේ කාර්ය මණ්ඩලයේ සිටි අවධියයි. එතුමාගේ අමාත්‍යාංශයේ ද එතුමාගේ ද සමස්ථ ප‍්‍රවෘත්ති කටයුතු පැවතුණේ මගේ භාරයේය.
නිදහස් සිතින්, වෘත්තීය පීඩනයකින් තොරව ලියවෙන මේ සටහන වර්තමාන රජයේ සෞඛ්‍ය අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේනයන් වෙනුවෙනි. මීට දිනකට ඉහතදී මා පුවත්පතකට ලිපියක් ලියුවේ කුප‍්‍රකට නියෝජ්‍ය ඇමතිවරයකු විසින් තරුණයෙකු ගස් බැඳීම පදනම් කරගෙනය. ඒ ලිපිය සඳහා කල්පනාවත් ගොනු කරද්දී මට මගේ පූර්ව ස්වාමියා මතක් විය. ඔහු දේශපාලනය තුළ යන පරෙස්සම් සහගත ගමනත් එයින් රටත් තම බල ප‍්‍රදේශයේ ජනතාවත් විඳින විපුලඵල ප‍්‍රයෝජනත් සිහිපත් කෙරුණේ ගෞරව පුරස්සර සිතකිනි.
මෛත‍්‍රීපාල සිරිසේන මහතා උපන්නේ ගොවි දරුවෙකු ලෙස 1951 සැප්තැම්බර් 01 වනදා පොළොන්නරුවේ සේවාගමදීය. ඔහුට ගැමි දරුවන් හා සමානව තම උපන් භූමියේ ජීවත්වීමට දෛවය බලකර තිබිණි. මෛත‍්‍රී ගමේ පාසලින් හා පොළොන්නරුවේ පාසල්වලින් අධ්‍යාපනය ලැබීය.
ඔහුගේ උපන් දිනයන්, ශ‍්‍රී ලංකාවේ නිදහස් පක්ෂය බිහි වූ දිනයත් එකම දිනයක් විය. සිද්ධාර්ථ කුමාරයත් යශෝදරාවත් ඉපදුනේ එකම දිනයක බව බෞද්ධ සාහිත්‍ය පවසයි. බුදු බව ලැබීත් නිමා නොවුණු සෙනෙහසක් යසෝදරාවන් වෙත බුදුන් විෂයෙහි තිබුණු බව ඇතැම් බෞද්ධ මුලාස‍්‍ර පවසයි.
මෛත‍්‍රීට ද ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය හා උත්පත්තික බැඳීමක් වෙයි. පාසල් වියේ කෙටි කාලයක් ලංකා කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධව සිටියා විනා ඉනික්බිති ඔහුගේ දේශපාලන සම්බන්ධතාවයන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ඉක්මවා නොගියේය. ඔහුට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඇතැම් කෙනහිලිකම් සිදුවෙද්දී ඔහු තිරසරව පක්ෂය වෙනුවෙන් කැපවිය.
මෛත‍්‍රී තුළ තමන් විශ්වාස කරන ගුණ ධර්ම සමූහයක් තිබේ. ඒවා ඔහු දේශපාලනයට පැමිණීමත්, එහි ඉහළ තලවලට ළඟාවීමත් සමග හානිවීමට ඉඩ නොදුන්නේය. මෛත‍්‍රීට ඔහුගේ යටගියාට හොඳින් මතකය. ඒ නිකලැල් මතකය ඔහුගේ දේශපාලනයට මනා පන්නරයක් සපයයි.
ජනපද ගොවියන් බහුතරයකින් සමන්විත තම ජන්දබල ප‍්‍රදේශය පිළිබඳ අණ්වීක්ෂීය අවබෝධයක් මෛත‍්‍රීට තිබේ. පොළොන්නරුව ආසනය ඔහුගේ සංවිධායකත්වයට යටත්ය. එහෙත් පොළොන්නරුව දිස්ත‍්‍රික්කයට අයත් මැදිරිගිරිය හා මින්නේරිය ජනතාවද තම සමීප නායකයා ලෙස සළකන්නේ මෛත‍්‍රීපාල සිරිසේනයන්ය. ඒ දේශපාලනයට ඇද වැටුණු දා සිට ඔහු එකම පක්ෂයක හති නොවැටී අඛණ්ඩ ගමනක් ආ නිසාය.
මහවැලිය බාර අමාත්‍යවරයාව සිටිය දී බදාදා දිනය මහජන දිනය ලෙස වෙන්කර තිබුණි. එතුමා හමුවීමට එන ජනතාවගේ පහසුව තකා හමුවීම් ස්ථානය හයිඞ්පාක් අසළ අමාත්‍යාංශයෙන්, විහාර මහාදේවි උiානය පිටුපස මහවැලි කේන්ද්‍රයට ගෙන යාමට සිය කාර්ය මණ්ඩලයට උපදෙස් දී තිබිණි. එහෙත් පළමුදාම ඇමතිතුමා මහවැලි කේන්ද්‍රයට යන විට ජනතාව පැමිණි සිටියත් කාර්ය මණ්ඩලය එතැනට පැමිණ සිටියේ නැත. බලවත් අපහසුවට පත් ඇමතිතුමා මැඩ ගත නොහැකි කෝපයෙන් අමාත්‍යංශයට පැමිණි සිය පෞද්ගලික කාර්ය මණ්ඩලය කාමරවලින් ඉවත් කොට ඉබි යතුරු දමා ආපසු මහවැලි කේන්ද්‍රයට ගොස් ජනතාව හමු විය.
පෞද්ගලික කාර්ය මණ්ඩලය තැති ගැන්වූ මේ තත්ත්වය සමනය කර ගැනීමටත් තොරතුරු බලා ගැනීමටත් සවස්යාමයේ ඇමතිතුමාගේ නිල නිවස්නයට ගියෙමි. එහිදී තමාගේ මැඩ ගත නොහැකි කෝපයට හේතු වූ කරුණු ශෝකී ස්වරයෙන් පැහැදිලි කළේ මෙසේය.
‘‘චන්දරේ මං එදා මහජන දිනේට යනකොට කාලයක් තිස්සේ මට උදව් කරපු පොළොන්නරුවෙ වයසක මන්සුසයෙක් එයාගෙ දුවත් එක්ක විහාර මහාදේවි එකේ වැටට හේත්තුවෙලා බනිස් ගෙඩියක් කනවා. ඒක දැකපු මට විශාල දුකක් ඇති වුණා. පොළොන්නරුවෙන් මේ උදෙන්ම පිටත්වෙලා ඇවිත් තියෙන්නේ මගෙන් ලොකු උදව්වක් ගන්න. එහෙව් අසරණ මිනිස්සුන්ට උදව් පදව් කිරීම මගේ කාර්ය මණ්ඩලයේ රාජකාරියයි. ඒක නොකරටයි මට තරහ ගියේ.’’
ඒ කියන අතර මෛත‍්‍රීගේ දෙනෙතින් කඳුළු බිඳු කිහිපයක් ගලා යනු මම දුටුවෙමි. තම යටත් නිලධාරියා අසල ඇමතිවරයකු කඳුළු සැලීම සරල කාර්යයක් නොවේ. ඒ ඔහුට ඔහුගේ ජනතාව කෙරේවන අවංක ලෙන්ගතු කමයි.
මෛත‍්‍රීට පොළොන්නරුව දිස්ත‍්‍රික්කය මෙහෙයවන විiාත්මක ක‍්‍රමවේදයක් තිබුණි. ඔහු සංඛ්‍යා ලේඛන ද, සංගණන, සමීක්ෂණ හා ක‍්‍රමවේද විශ්වාස කළ මිනිසකෙු විය. ඔහු හොර ජන්ද දැමීම් ආදිය ගැන විශ්වාසයක් නොතැබුවේය. මගේ විශ්වාසයේ හැටියට මෛත‍්‍රී පාර්ලිමේන්තු දේශපාලනයේ සිටිනතාක් ඔහුව පැරදවීමට කිසිවකුට නොහැකි වනු ඇත.
මෛත‍්‍රී මහවැලි අමාත්‍යාංශය භාර ගන්නා විට මහවැලි අධිකාරිය ද අනෙකුත් ආයතන ද යූ.ඇන්.ජී. කාරයන්ගෙන් පිරී පැවතිනි. බහුතරය ගාමිණී දිසානායකවාදීන් විය. ඇතමුන් ගාමිණී දිසානායකට වඩා වෙනත් පසුබිමකින් පැමිණි මේ තරුණ දේශපාලකයා ගණන් නොගත්තේය. ඉහළ තනතුරු දැරූ ඉංජිනේරුවෝ, ගණකාධිවරු, ආයතන ප‍්‍රධානීන් ද ඒ අතර විය. එහෙත් ඒ උදවියගෙන් ඔහු පළි නොගත්තේය. දිගින් දිගට සේවා පැහැර හරින්නන් කෙරේ පමණක් ඔහු ක‍්‍රියාත්මක විය. අවසානයේ මෛත‍්‍රීට පරණ නිලධාරින් සමගම මහවැලිය ඔස්සේ බොහෝ වැඩ කළ හැකිවිය.
මගේ අවබෝධයේ හැටියට මෛත‍්‍රීපාල සිරිසේන අයත් වන්නේ මෛත‍්‍රීපාල සේනානායක, ටී.බී. ඉලංගරත්න, ඇම්.ඞී. බණ්ඩා, ටී.බී. සුබසිංහ වැනි දේශපාලකයන් අයත් දේශපාලන තීරුවකටය. ඔවුන් දේශපාලනය මෙහෙවරකැයි සිතුවේය. තමා පත්කර එවූ ජනතාව කෙරේ ලෙන්ගතු වූහ. එවන් නායකයෝ තම උරුමයේ කොටසක් ලෙස සිතීමට ජනතාව ද නිරතුරුව පෙළඹෙති.
එච්. ආර්. ප‍්‍රීමන් ඉංග‍්‍රීසි ආණ්ඩු සමයේ අනුරාධපුරයේ රාජ්‍ය නිලධාරියෙකු විය. එහෙත් දුකින් පෙළන රජරට ජනයා කෙරේ තමන්ගේ ආණ්ඩු නොසලකන්නේය යන හැඟීම මත පී‍්‍රමන් රාජ්‍ය මන්ත‍්‍රණ සභා යුගයේ දී මැතිවරණයට ඉදිරිපත් වී ජයග‍්‍රහණය කළේය. ඔහු සිය වැඩ කළ හැකි සමස්ථ ජීවිතයම කැප කළේ රජරට ජනතාවගේ අභිවෘද්ධිය පතාය. ප‍්‍රීමන්ට පසු රජරටින් සිය ගණන් දේශපාලකයෝ බිහිවිය. එහෙත් රජරට ඉතිහාසයේ ප‍්‍රීමන්ගේ නම සදාකාලිකව රැුඳී පවතී.
ප‍්‍රීමන්ගෙන් වසර පනහකට පසුව රජරට ඉතිහාසයට එක්වුණු අනෙක් දේශපාලකයා වූයේ මෛත‍්‍රීපාල සේනානායකයෝය. ඔහු මියෙන තුරුම තම නියෝජිතයා ලෙස රජරට ජනතාව පාර්ලිමේන්තුවට යැව්වේ මෛත‍්‍රීපාල සේනානායකයෝය. අපමණ තානාත්තර ලැබුණත් මෛත‍්‍රීපාල සේනානායකයෝ රජරට ජනතාව හා තමා සමග ඇති බැඳීම ඔහු කිසිදා අත් නොහළේය.
මගේ අදහසේ හැටියට රජරට ඉතිහාසයට යාව ජීවව කාවැදුණු අනෙක් නායකයා වන්නේ මෛත‍්‍රීපාල සිරිසේනයන්ය. වසර විසි පහක් තිස්සේ ඔහු පොළොන්නරුව නියෝජනය කරයි. එදා මෙදා තුර පක්ෂ විපක්ෂ තරගකරුවන් අතර ඔහු සිටින්නේ යොදුන් ගණනක් ඉදිරියෙනි. ඔහුට පෙර සිටි මහජන නියෝජිතයන් සැමෙකෙක්ම පාහේ රජරට ජනතාව දෙස බැලූවේ එක්තරා ‘හාමු’ ආකල්පයකිනි. එහෙත් මෛත‍්‍රී ඔවුනට ඥාතියකු හා මිත‍්‍රයෙකු විය.
මා දැන සිටින මෛත‍්‍රී ආගමික නායකයින්ට, ජනමාධ්‍යයට, වැඩහිටියන්ට, ස්ත‍්‍රීන්ට, දරුවන්ට හා වෘත්තිකයන්ට ගරු සරු දක්වයි. දේශපාලනයේ ඇති ඇතැම් අශීලාචාරකම් කෙරෙහි කළ කිරේ. 1990 ගණන්වල තම පක්ෂය මහා මැතිවරණයේ දී ජාතික ලැයිස්තුවලට පේ‍්‍රමසිරි කේමදාස රෝහණ වීරසිංහ වැනි නම් ඇතුලූ කොට මැතිවරණයෙන් පසු ඔවුනට තැනැක් නොදීම පිළිබඳව කථා කළේ කළකිරීමකිනි.
තමන් බලයට පත් කළ ජනතාව, චාටුවෙන් රවටමින් ඊළඟ මැතිවරණය තෙක් රැුකගත යුතු ජන්දය ගරානාවක් නොව නිරතුුරු දැනුමෙන් ද, අනෙකුත් විධික‍්‍රමයන්ගෙන් ද, පෝෂණය කළ යුතු සමීපතයන් සේ සැලකීය. පොළොන්නරුව සිසු දරුවන් ඉලක්ක කර ගත්, පුලතිසි දරුවෝ, නැගී එන කලාකරුවන් ඉලක්ක කර ගත් පුලනිසි කලා අසපුව, පොළොන්නරුව ජනතාව ඉලක්ක කරගත් මෛත‍්‍රී තැනූ ආයතනයන්ය.
මෛත‍්‍රී පක්ෂය උසස් කොට සලකයි. ඔහු ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනන්‍යතාව දේශීය ඌරුව අනුව හැඩ ගැස්විය යුත්තක් බව විශ්වාස කරයි. එමෙන්ම ජාතීන් අතර යුක්තිය හා සමානාත්වය ඇති කරමින් ඓතිහාසික උරුමයන් රැුකගනිමින් කිසිවකු තරගයෙන් ඇද නොවැටෙන දේශපාලන ක‍්‍රමයක් ගැන විශ්වාසයක් තබයි.
මෛත‍්‍රී අතිශයින් දක්ෂ කථිකයෙකි. ඔහු විරාම ලකුණු තබන්නේ අත්පුඩි බලාපොරොත්තුවෙන් නොවේ. ඔහුගේ කථා තුළ කුණු හරුප දෙපිට කැපෙන වදන් දක්නට නොමැත. ඔහු අමතන මහ සෙනඟ අතර වැඩිහිටියන් ද, දරුවන් ද, ශීලාචාරව ඇමතිය යුතු පිරිස් ද, සිටින බව දන්නා නිසාදෝ මහජන රැුස්වීම් ඇමතීමේ දී අතිෂයින් විනීතය. අමාත්‍යාංශ රැුස්වීම්වලදීත්, වෙනත් පොදු සාකච්ඡුා සම්මන්ත‍්‍රණවලදීත,් සහභාගිවන නිලධාරින්ගේ දැන උගත්කම්වලට ගරු කරමින් සභාවන් මෙහෙයවයි.
තම පක්ෂයේම සගයන් රූපවාහිනියට ගොස් යකා නටද්දී, තරුණයන් ගස් බඳිද්දී එහි පවතින නරුම බව මාධ්‍යයට පවසන්නටත්, ඒවාට එරෙහිව තම හැකි ප‍්‍රමාණයෙන් කටයුතු කරන්නටත් මෛත‍්‍රී නොපසු බට විය.
පක්ෂ විපක්ෂ දේශපාලනයෙන් මිනිසත්කම, ශිලාචාර බව, තුරන්වන සමයක ඔහු තම ශක්තිය ලෙස විශ්වාස කරන්නේ ඒ ගුණ ධර්මයන්ය.
ජීවිතයේ හය වන දශකයේ කෙළවරට සමීප වන මගේ පූර්ව කාලීන ස්වාමියාට නොනැවතී සිය ගමන යන්නට මම ආශිර්වාද කරමි.
චන්ද්‍රරත්න බණ්ඩාර
ප‍්‍රින්ස් එඞ්වඞ් අයිලන්ඞ් විශ්ව විiාලය – කැනඩාව