පහනක් නොදල්වා අඳුරට සාප කරන විපක්‍ෂය

මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට සිය ධූර කාලය දීර්ඝ කරන 18 වන සංශෝධනය සම්මත කර ගන්නා ගමන්ම, තම දේශපාලන විරුද්ධවාදියා වූ සරත් ෆොන්සේකා, යුක්තිය පසිඳලීමේ ක‍්‍රියාවලියේ දී වැදගත් ලෙස සැලකිය නොහැකි අධිකරණයක් මගින් තුන් අවුරුදු සිර දඬුවමකට යටත් කළේය. මේ කාරණා දෙක සිදුවූයේ ළඟ ළඟ දින කිහිපයක් තුළය.
මෙම සිද්ධි දෙකත්, ආණ්ඩුවේ සමහර ක‍්‍රියාමාර්ග දෙසත් ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ඉදිරිගමන බලාපොරොත්තු වන්නන්ට සංකාවක් හා කළකිරීමක් ජනිත කරයි. එහෙත් ඒ කලකිරීම පන්නරයක් කරගෙන ආණ්ඩුවේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ක‍්‍රියාමාර්ග වැලැක්වීමට සමත් විපක්ෂයක් රට තුළ නොපවතී. එහෙයින්ම ආණ්ඩුවේ නොපනත්කමක් වෙතොත් ඒවායේ වගකීමෙන් කොටසක් දුර්වල විපක්ෂය ද බාර ගත යුතුව ඇත.
විවිධාකාර නොපනත්කම්වලට මහින්ද රාජපක්ෂ රජය වගකිව යුතු වුවත් ලංකාව ගොදුරු කර ගත් ජනවාර්ගික යුද්ධය නිමා කිරීමේ ගෞරවය මහින්ද රාජපක්ෂ මහතාට හිමි විය යුතුය. සැබැවින්ම නිදහසින් පසු යුගයේ ශ‍්‍රී ලාංකික ජාතිය මුහුණ දුන් භයංකරම අභියෝගය ජයගත් වීරයා ලෙස මහින්ද රාජපක්ෂ ඉතිහාසයට එක්වීම වැළැක්විය නොහැකිය. සාමවාදීන් පමා දුර්මුඛ කරන ලද එම තත්ත්වය මහ පොළොවේ යථාර්ථයක් ලෙස සැලකීමට එක්සත් ජාතික පක්ෂය තවමත් අසමත්ව සිටී.
දෙවන ලෝක යුද්ධ සමයේ මිතුරු හමුදාවන්ගේ ප‍්‍රධාන කාර්යභාරයකට උරදුන් පුද්ගලයකු වූයේ බි‍්‍රතාන්‍ය අගමැති වින්ස්ටන් චර්චිල්ය. ඔහුගේ දේශපාලන ජීවිතය දුබලතාවලින් ගහන එකක් විය. එහෙත් මුලූ ලෝකයේමත්, බි‍්‍රතාන්‍යයේත් පැවැත්ම අභියෝගයකට ලක්කල දෙවන ලෝක යුද්ධය ජයගැනීමට ඔහු දුන් අභීත නායකත්වය වෙසෙසින් අගය කිරීමටත්, අනවශ්‍ය දේශපාලන කලබගෑනි ඇති නොකරමින් චර්චිල්ට එක සිතින් යුද්ධය කිරීමටත් අවශ්‍ය පසුබිම සකසා දීමටත් එවකට බි‍්‍රතාන්‍ය විපක්ෂ නායක ක්ලෙමන්ට් ඇට්ලි හා සමස්ත විපක්ෂය දේශපාලන වශයෙන් පරිනත විය. දෙවන ලෝක යුද්ධය නිමාවිය. බි‍්‍රතාන්‍ය ජනතාව යුද්ධ ජයග‍්‍රහණයේ ගෞරවය වින්ස්ටන් චර්චිල්ට පමණක් නොව ක්ලෙමන්ට් ඇට්ලිට ද ලබා දුන්නේය. ඒ ඇට්ලිගේ ද විපක්ෂයයේද හැසිරීම නිරවුල් යුද නායකත්වයකට චර්චිල්ට පසුබිම සැලසීම නිසාය. යුද්ධය නිමාවීමත් සමග පැවති මහා මැතිවරණයේදී කරලියට පැමිණියේ දේශපාලන හේතූන් හා පශ්චාත් යුද්ධ බි‍්‍රතාන්‍ය නැවත ගොඩ නගන්නේ කෙසේද යන කාරණයයි. විපක්ෂය යුද්ධයට ලබා දුන් සහය නිසාම මැතිවරණ සමයේදී චර්චිල්ට යුද්ධ ජයග‍්‍රහණයේ ගෞරවය තනිවම ලබාගත නොහැකි විය. මැතිවරණයේ දී ඉස්මත්තට පැමිණියේ වඩා හොඳ දේශපාලන නායකයා කවුද යන කාරණයයි. එහිදී යුදවීරයා පරදා බි‍්‍රතාන්‍ය විපක්ෂ නායක ක්ලෙමන්ට් ඇට්ලි මැතිවරණයෙන් ජයග‍්‍රහණය ලැබීය.
එහෙත් ලංකාවේ සිදුවූයේ කුමක්ද…? ජනාධිපතිවරයා මහා සේනා සංවිධානත්වයකින් යුද්ධයට පසුබිම සලසන විට රනිල් ද ඇතුලූව එක්සත් ජාතික පක්‍ෂ නායකයෝ කළේ යුද්ධයට උසුලූ විසුලූ කිරීමයි. රවි කරුණානායක කිලිනොච්චිය අල්ලාගත් විට කීවේ කිලිනොච්චි යනවා කියා මැදවච්චි යන බවත් අලිමංකඩ යනවා කියා පාමංකඩ යන බවත්ය. මංගල සමරවීර ලක්බිම පුවත්පතට සම්මුඛ සාකච්ඡුාවක් දෙමින් පැවසුවේ වත්මන් හමුදාපතිවරයා (සරත් ෆොන්සේකා* යුද හමුදා නායකත්වයට තබා ගැලවීමේ හමුදා නායකත්වයටත් නුසුදුසු බවයි.
ජනතා විමුක්ති පෙරමුණ පවා යුද ජයග‍්‍රහණයන් යම් කිසි පමණකට අගය කළත්, සමස්ථ මහා වැඩ වර්ජන ආදිය කැඳවමින් යුද්ධ කරන ආණ්ඩුව දුර්වල කිරීමට හැකි හැම වීර්යයක්ම දැරීය.
පාර්ලිමේන්තුවේ සැබෑ දෙමළ ජනතා නියෝජනය ලෙස සැලකිය හැකි දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ, යුද්ධයේදී ආණ්ඩුවට විකල්ප අදහසක් දැරීම තේරුම් ගත හැකිය. එහෙත් යුද්ධයේදී එක්සත් ජාතික පක්‍ෂය හා ජනතා විමුක්ති පෙරමුණ ගත් ස්ථාවරය ද ඊට නොදෙවෙනි වනවා පමණක් නොව ඇතැම් විට කළ හානිය අතින් දෙමළ විමුක්ති පෙරමුණ ද අභිබවා සිටී.
යුද්ධය ශ‍්‍රී ලාංකික සමස්ථ ජනයාගේ ජීවිතය අවුල් කළ මහා පොදු සාධකය විය. එය නිමා කිරීමට මහින්ද රාජපක්ෂ රජය දැරූ උත්සාහය ද, එය නිමා කළ අයුරු ද ජනතාව දුටහ. එමෙන්ම යුද්ධ ජයග‍්‍රහණයේදී විපක්‍ෂයේ හැසිරීම ද ඒ ආකාරයෙන්ම ජනතාව දුටුවෝය. ඒ දැක්මේ ප‍්‍රතිඵලය නම් මහජන ජන්දයෙන් සමස්ථ විපක්ෂය පරදා මහින්ද රාජපක්ෂ ආණ්ඩුව අසීමිත ජයග‍්‍රහණයක් ලැබීමයි.
අද සිංහල පාර්ශවය නියෝජනය කරන සමස්ථ විපක්ෂය කරන්නේ ගැමුණු කුමරු උණු බත්් කෑමට සමාන ක‍්‍රියාවකි. ඔවුන්ට මහ පොළොවේ යථාර්ථය වැටහෙන්නේ නැත.
ඕනෑම දේශපාලන පක්‍ෂයකට බලය ලබා ගැනීම පිළිබඳ සිහිනයක් තිබිය යුතුය. දේශපාලන විiාවේදී පක්‍ෂයක් හා සංගමයක් අතර වෙනස හුවා දක්වන එක ප‍්‍රධාන නිර්නායකයක් වන්නේ බලය පිළිබඳ මෙම කාරණයයි. එමෙන්ම පක්‍ෂයක් තවත් පක්‍ෂයකින් වෙනස් වන තමන්ගේම වූ ඉදිරි දර්ශනයක් තිබිය යුතුය. න්‍යායික දේශපාලන දර්ශනයක් නොමැති සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂයක් ලෙස ගිනිය හැකි එක්සත් ජාතික පක්‍ෂයට රට පෙලූ ජනවාර්ගික ප‍්‍රශ්නයට සැබෑ විසඳුමක් තිබිණිද…? එක්කෝ එය යුද්ධය විය යුතුය. නැතහොත් එය සාමය විය යුතුය. මහින්ද රාජපක්‍ෂ යුද්ධය තෝරා ගත්තේය. තම සාමවාදී වමේ මිතුරන්ගේ අදහස් නොසලකා ඔහු තෝරා ගත් මගේම ඉදිරියට ගියේය. පරාජයන්හි පසු නොබාමින් ඔහු යුද්ධයම කළේය. අවසානයේ ඔහු තෝරාගත් මාර්ගය තුළින්ම ජයග‍්‍රහණය ලැබීය. යුද මාවතේ ඉදිරියට යද්දී එක්සත් ජාතික පක්‍ෂය කළේ හැකි වෙර යොදා ඒ මගට අකුල් හෙලීමයි.
චන්ද්‍රිකා කුමාරතුණතුංග රජය හැඳින්විය හැක්කේ සාමවාදී රජයක් ලෙසය. ඇය ජනවාර්ගික ප‍්‍රශ්නයක් ඇතැයි ද, ඒ සඳහා විසඳුම් දීමෙන් තොරව සැබෑ ලෙස වාර්ගික ප‍්‍රශ්නය විසඳිය නොහැකියැයි විශ්වාස කළාය. ඒ සඳහා වන සමස්ථ සාම වැඩ පිළිවෙලක් ඇයට තිබිණ. 2000 දී නැගී ආ සියලූ බාධක නොතකා වාර්ගික ගැටලූවට විසඳුම් ද ඇතුළත් ව්‍යවස්ථාවක් පවා ඇය නිර්මාණය කළාය. එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරද්දී රනිල් වික‍්‍රමසිංහ එජාප නායකයා සිටියේ සභාගර්භයේ සිය අසුනේ වාඩි ගෙනය. එහෙත් ඔහුගේ ගෝලයෝ ඒ ව්‍යවස්ථාවේ පිටපත් සභා ගර්භය තුළම සිට ගිනිබත් කළෝය.
එයින් කියවෙන්නේ එක්සත් ජාතික පක්‍ෂයට බලය ලබා ගැනීමේ සිහිනයක් මිසක රටේ වැදගත්ම ගැටලූව ගැන කිසිදු සංවේදී බවක්වත් ඉදිරි දර්ශනයක්වත් නොමැති බව නොවේ ද?.
චන්ද්‍රිකා බණ්ඩාරනායක රජය සාමකාමී ලෙස ගැටලූව විසඳීමේ ක‍්‍රියාමාර්ග ගත් අවස්ථාවේදීත්, මහින්ද රාජපක්ෂ යුද්ධයෙන් ප‍්‍රශ්නය විසඳීමට උත්සාහ කළ අවස්ථාවේදීත් ඒ කරුණ අරබයා පමණක්වත් සහයෝගීව කටයුතු කළේ නම් හෝ තමන් විශ්වාස කරන එක් මාර්ගයකට හෝ සහාය ලබාදිනි නම් එජාපයේ වර්තමානය ද රටේ වර්තමානය ද මෙතරම් අඳුරු නොවනු ඇත.
ලංකාවේ සිටි ඉහළම ගනයේ පාර්ලිමේන්තුවාදීන් දෙදෙනා ලෙස සම්භාවනාවට පත්වන්නේ ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා සහ ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා මහතුන්ය. ඔවුන් හොඳ පාර්ලිමේන්තු සම්ප‍්‍රදායන් බිහි කිරීමටත් පවත්නා කුමන හෝ ආණ්ඩුවක් යටතේ ජනයාට අවශ්‍ය සහනයන් රැුගෙන දීමටත් කැප වූවෝය. ආණ්ඩු බලයක් ලබා නොසිටියදීත් පොදු මහ ජනතාව වෙනුවෙන් ලබා දුන් අර්ථ සාධක අරමුදල, පැය අටේ වැඩ, විශ‍්‍රාම වැටුප් ආදී සිය ගණනක් සහනයන් ජනතාවට ලැබුණේ නිවැරැුදි විපක්‍ෂ ක‍්‍රියාකාරිකයන් ලෙස ක‍්‍රියා කිරීම නිසාය.ි.
අද එක්සත් ජාතික පක්‍ෂයේ අර්බුදයට හේතුව නායකත්වයේ්වත්, සංවිධාන රටාවේවත් ඇති එකක් නොව ඔවුන් පිළිපදින වගකීමක් නැති දේශපාලන දැක්මේ ප‍්‍රතිඵලයකි. රනිල් වික‍්‍රමසිංහ තරම් දේශපාලන බුද්ධියක් සහිත නායකයෙකු එජාපය තුළවත් සමස්ත විපක්‍ෂය තුළවත් ඇතැයි සිතිය නොහැකිය. එහෙත් ඔහුටවත් ඔහුගේ නායක මණ්ඩලයටවත් ආණ්ඩුවේ ඇතැම් නොපනත්කම්වලට විරුද්ධ විය නොහැක්කේ රට ගිලගත් අර්බුදයන්හිදී ඔවුන් ක‍්‍රියාකළ ද්‍රෝහි ආකාරය නිසාය.
රටකට විශ්වසනීය විපක්ක්‍ෂයක් තිබීම යහපත් ආණ්ඩු කරන ක‍්‍රියාවලියකට අත්‍යාවශ්‍ය දෙයකි. ඔවුන් සත් චේතනා සහිත තමන් බලයට එනතෙක් කල් නොබලා ආණ්ඩුව ගන්නා යහපත් ක‍්‍රියාමාර්ග වල දී එයට සහයෝගය දක්වමින් ක‍්‍රියා කළ යුතුය. ඒ මගින් ගොඩ නැෙඟන විශ්වෂනීයත්වය ආණ්ඩුව ගන්නා අත්තනෝමතික ක‍්‍රියා මාර්ගයන් පරාජය කිරීමට දැවැන්ත ශක්තියක් කර ගත හැකිය. ආණ්ඩුව ගත් අත්තනෝමතික කි‍්‍රයාමාර්ගයක් වූ 18 වන සංශෝධනය සම්මත කිරීම හා සරත් ෆොන්සේකා සිරගෙයි ලෑම යන සිද්ධි දෙකේදී ඇල්මැරුණු විරෝධතා කිහිපයකින් පසු සුපුරුදු පක්‍ෂ අභ්‍යන්තරික යුද්ධයේ එජාපය නිරතවී සිටී.
ලංකාවේ දේශපාලන පක්‍ෂයක, නායකයාට වඩාත්ම පරමාධිකාරී බලයක් සහිත ව්‍යවස්ථාව හිමි එක්සත් ජාතික පක්‍ෂයටය. කෙතරම් අභ්‍යන්තර කුණාටු ආවත් රනිල් වික‍්‍රමසිංහ නායකත්වයෙන් ඇද නොවැටෙන්නේ ඒ අනුහසිනි. තම පක්‍ෂ ව්‍යවස්ථාව ප‍්‍රජාතන්ත‍්‍රවාදී ව්‍යවස්ථාවක් බවට පත් කර ගැනීමට අසමත් දේශපාලන පක්‍ෂයක් ආණ්ඩුවේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ක‍්‍රියා මාර්ගවලට එරෙහි වන්නේ කෙසේද…?
එක් අතකට අද පවත්නා ශ‍්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය ජනිත කිරීමට වඩා දායක වී ඇත්තේ දුර්වල විපක්‍ෂය බව අපගේ හැඟීමයි.
මේ ලිපිය අවසන් කිරීමට පෙර අපි එක්තරා සිදුවීමක් සටහන් කරමු. 1977 මහ මැතිවරණයේ ජන්ද ප‍්‍රතිඵල නිකුත් වීම හමාර වෙමින් තිබිණ. තම ජයග‍්‍රහණය තහවුරුවීමත් සමග ජන්ද ප‍්‍රතිඵල ශ‍්‍රවණය කිරීම අත්හැර දැමූ ජේ.ආර්. ජයවර්ධන නින්දට ගියේය. පසුදා උදෑසන ගාමිණි දිසානායක ඇතුලූ පිරිසක් සිය නායකයාට සමස්ථ ජයග‍්‍රහණයේ ප‍්‍රතිඵල වාර්තාකිරීමට වෝඞ් පෙදෙසේ ජේ. ආර්. ගේ නිවසට ගියේලූ. ”අපි දිනුම් සර්” කියූ ගාමිණී සිය උද්දාමය ජේ. ආර්ට ප‍්‍රකාශ කළේය. නළල රැුලි ගැන්වූ ජේ.ආර්. ගාමිණීගෙන් ඇසුවේ ”ගාමිණී එතකොට යටියන්තොට (එන්.එම්*?”
”ඒකත් අපි දිනුම් සර්” ගාමිණී පිළිතුරු දුන්නේය.
”එතකොට අගලවත්තෙන් කොල්වින්…?”
‘‘කොල්විනුත් පරාදයි සර්’’
‘‘හ්ම්…’’
‘‘එතකොට මැද කොළඹ පීටර් කේනමන්…?’’
‘‘ඒත් අපිට සර්…’’
‘‘ගාමිණී එතකොට හරිහමන් විපක්ෂයක් නැතිව අපි ආණ්ඩු කරන්නේ කොහොමද…?’’ ජේ.ආර් ගාමිණීගෙන් ඇසුවේලූ.
මෙය දේශපාලන ජනකතාවකි. ඇත්ත ද බොරු ද අපි නොදන්නෙමු. එහෙත් ශක්තිමත් විපක්‍ෂයක අවැසි බව ඒ දෙබසින් නොකියවෙන්නේද…?
-සංස්කාරක-