දේශපේ‍්‍රමයට සියල්ල කළ හැකි නම්…

යුද්ධය ජයග‍්‍රාහීව නිම වෙමින් තිබූ කාලයේ දවසක, එවකට විදේශ අමාත්‍යාංශයේ ලේකම් වූ පාලිත කොහොන මහතාව අපට හමුවිය. ඒ ටොරොන්ටෝවේ කොන්සල් ජනරාල් කාර්යාලයේ කැඳවීමකට අනුව කොන්සල් ජනරාල් නිල නිවස්නයේදී ය. එදා පැවති මාධ්‍ය සාකච්ඡුාවේදී ‘කලා කවය’ වැඩ සටහන වෙනුවෙන් පැමිණි සංජීව පෙරේරා මහතා ඔහුගෙන් හොඳ ප‍්‍රශ්නයක් ඇසුවේය. ‘යුද්ධය හමාර වීමෙන් පසු යුද්ධයට වැය වන අති විශාල මුදල ඉතිරි වෙනවා. දැනට බඩු මිල අධික වීම ඇතුලූ ජීවන බරින් පෙලෙන ජනයාට සහන සැලසීම සඳහා ඒ මුදල වැය කරනවාද…? යනුවෙනි ඒ. එයට කොහොන මහතා දුන් උත්තරය මෙසේය. ‘යුද්ධයෙන් ඉතිරි වන මුදල වැය කළ යුත්තේ රටේ සංවර්ධනයටයි. ජනතාවට එදිනෙදා සහන සැලසීමට ඒ මුදල වැය කළහොත් රට සංවර්ධනය කළ නොහැකියි.’
දැන් යුද්ධය හමාරවී අවුරුදු එක හමාරකට ආසන්න කාලයක් ගෙවී ගොසිනි. එහෙත් රටේ සැලකිය යුතු ප‍්‍රගතියක් ඇති වී තිබේද…? ප‍්‍රභාකරන් ඇතුලූ යුද බිමේ සියලූ නායකයන් මරණයට පත්ව සිටී. ජාත්‍යන්තර තලයේ ප‍්‍රධානියා ලෙස සැලකුණු කේ.පී. අත් අඩංගුවට පත්ව ආණ්ඩුවට කීකරු ගෝලයකු බවට පත්ව ඇත.
එහෙත් පසුගිය අය වැයෙන් විශාල මුදලක් වැය කර තිබුණේ ආයුධ ගෙන්වීමටය. 2010 අයවැයේ දී ගිය වසරට වඩා මිලියන 24ක් ආරක්ෂක වියදම් සඳහා වැය කර තිබේ. ලොව බිහිසුණුම ත‍්‍රස්තවාදය විනාශ කිරීමට ප‍්‍රමාණවත් වූ ආරක්ෂක වියදමක් යුද්ධයක් නැති තත්ත්වයක් යටතේ ප‍්‍රමාණවත් නොවන්නේ ඇයි…? 2009 දළ දේශීය නිෂ්පාදිතයෙන් 86%ක්ම ණය වී සිටින රටක මෙම තත්ත්වය ඉතාම භයානකය. විය යුත්තේ අප මුලින් උපුටා දැක්වූ ආචාර්ය පාලිත කොහොනගේ අදහස් ක‍්‍රියාත්මක කිරීමට උත්සුක වීමයි. ආණ්ඩුව තව තවත් අවි ආයුධ මිල දී ගැනීම් ගැන බර තබද්දී දකුණේ ජනයාගේ ආර්ථික සහන බලාපොරොත්තු ද, උතුරේ ජනජීවිතය යථා තත්ත්වයට පත් කිරීම පිළිබඳ බලාපොරොත්තු ද බොඳ වී යයි.
මහින්ද රාජපක්ෂ රජයට යුද්ධය ජයග‍්‍රහණය කරවීමේ කීර්තිය නොනවත්වා රැුක ගන්නට නම් දැඩි විනයකින් යුතු සංවර්ධනයක් සහ පීඩිතයන් උදෙසා වන සහනදායි වැඩ පිළිවෙලක් නොපමාව ආරම්භ කළ යුතුව ඇත. දේශපේ‍්‍රමයේ උජාරුව පෙන්වා පීඩිතයනට තව දුරටත් පටි තද කර ගන්නා ලෙස ඉල්ලූව හොත් එයට ජනතාව අවනත වේ යැයි සිතිය නොහැකිය.
ආරක්ෂක වියදම් වැඩි කිරීමෙන් අධ්‍යාපනය සහ සෞඛ්‍යය වැනි වැදගත් අංශ සඳහා වෙන් කෙරෙන මුදල් අඩුවේ. මෙවර අය වැයෙන් අධ්‍යාපනය හා උසස් අධ්‍යාපනය සඳහා වෙන් කර ඇති මුදල් ආරක්ෂක වියදමෙන් 18%කි. සෞඛ්‍ය සඳහා කර ඇති වෙන්කිරීම ආරක්ෂක වියදමෙන් 25%කි. වසර තුනකට ආසන්න කාලයක් තිස්සේ, අපේ රටේ ඩෙංගු රෝගය ව්‍යාප්ත වෙමින් පවතී. එය මර්ධනය කර දැමීමට ආණ්ඩුව සමත්කමක් නොදක්වයි. ඩෙංගු රෝගයට ගොදුරුව දැනට අති විශාල සංඛ්‍යාවක් මිය ගොසිනි. සාමාන්‍යයෙන් රටක හැකියාව මනින එක දර්ශකයක් වන්නේ වසංගත රෝග පාලනයට ඇති හැකියාවයි. එහෙත් එම දර්ශකයෙන් අපි පරාජයට පත්ව සිටිමු.
ගම්බද, නාගරික, වතුකරයේ ආදී වශයෙන් විසිරී සිටින දිළින්දන්ට සහන සලසමින් ඔවුන් සංවර්ධනයේ හවුල්කරුවන් කර ගැනීමට කිසිදු උත්සාහයක් නැත. පුවත්පත් වාර්තාවලට අනුව චීන අරමුදල්වලින් කරන යටිතල සංවර්ධන ව්‍යාපෘතිවල රැුකියා දෙන්නේ චීනයෙන් ගෙන්වා ගෙන ඇති චීන කම්කරුවන්ටය. ඒවායේ වැඩ කරන්නට සූදානමින් සිටින අති විශාල රැුකියා විරහිත පිරිසක් රට තුළ සිටිය දී අනාගත උවදුරක් විය හැකි චීන කම්කරුවන් මෙසේ ගෙන්වීම ගැන රට තුළ පමණක් නොව අසල්වැසි ඉන්දියාවේද කනස්සල්ලක් නිර්මාණය වී තිබේ. අප දන්නා කාලයේ සිදු වූ මහවැලි වැනි සංවර්ධන ව්‍යාපෘති සඳහා නුපුහුණු ශ‍්‍රමය මුලූමනින්ම ලබා ගත්තේ ශී‍්‍ර ලාංකික ශ‍්‍රමික ප‍්‍රජාවෙනි. එයින් දහස් සංඛ්‍යාත පවුල්වලට විශාල සහන සැලසිනි.
අලූත්ම ගෝලීය කුසගිනි දර්ශකවලට අනුව (ළමා මන්දපෝෂණය, ළමා මරණ අනුපාතිකය, කැලරි හීන ජන අනුපාතය අනුව කෙරෙන* ශ‍්‍රී ලංකාවේ තත්ත්වය ඉතා භයානකය. සෞඛ්‍ය අමාත්‍යාංශය, යුනෙස්කෝව, ලෝක ආහාර සංවිධානය කරන ලද පෝෂණය හා ආහාර සුරක්ෂිතතාව පිළිබඳ සමීක්ෂණයකින් හෙළි දරව් වී ඇත්තේ ශ‍්‍රී ලංකාවේ ගෘහ මූලිකයෙකු තම ආදායමෙන් 37.9%ක් ආහාර සඳහා වැය කරන බවයි. එමෙන්ම ජනගහනයෙන් 1/3 ක් මේවා මිල දී ගැනීමට ණයවන බවයි. පාරිභෝගියන්ගෙන් 39.1%ක් සිය මාසික ආදායම රුපියල් 9000කට වඩා අඩුය. එමෙන්ම 32%ක් ජනයාට පසුගිය මාස 13ක කාලය තුළ අවශ්‍ය ප‍්‍රමාණයට ආහාර නොලැබුණු බවය.
ශ‍්‍රී ලංකාවේ අසමමිතික සංවර්ධනයට උදාහරණයක් ගනිමු. ඒ හම්බන්තොටිනි. හම්බන්තොටට අලූත් වරායක්, ගුවන් තොටුපොළක්, ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගනයක් ඉදි වී ඇත. අති සුඛෝපභෝගී සම්මන්ත‍්‍රණශාලාවක්, රූපවාහිනි නාටක රූගත කළ හැකි ගම්මානයක් ආදී වශයෙන් මහා පරිමාණ ඉදිකිරීම් සමූහයකි. ඉතා කඩිසර ලෙසින් ඒවා ඉදිවේ. එහෙත් අදටත් ළමා මන්දපෝෂණය ඉහළම තැන අත් වන්නේ ද හම්බන්තොටටමය.
මෙවර අය වැය ගෙන එන්නේ අසුබ නිමිති සමූහයකි. එය රට යන දිසාව පෙන්වයි. 2010 යුදමය කටයුතුවලට මුල් තැන දීමෙන්ම එය පැහැදිලිය. අධ්‍යාපන හා සෞඛ්‍ය විදයම්වල එකතුවට වඩා ආරක්ෂක කටයුතු සඳහා වෙන් කිරීම, අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල තීරුබදු වැඩිකර සුඛෝපභෝගී වාහනවල තීරු බදු අඩු කිරීම පෙන්වා සිටින්නේ රජය වැඩි සැලකිලි දක්වන්නේ පොහොසතුන්ට හා බලවතුනට බවය. මෙම ජනප‍්‍රිය නොවන කටයුතු ආවරණය කර ගන්නේ යුද්ධ ජයග‍්‍රහණයෙන් ඔසවා තැබුණු දේශපේ‍්‍රමය නම් කඩතුරාව සිංහල බහුතරය මත එළීිමෙනි.
ගී‍්‍රසිය තම කඩා වැටෙන ආර්ථිකය ගැන නොසලකා සිය ආරක්ෂක වියදම් තර කළේය. තම අසල්වැසි තුර්කිය සමග ඇති ආරවුල හේතු කර ගනිමින් යුරෝපයේ අනෙක් රාජ්‍යයන්ට වඩා දළ දේශීය නිෂ්පාදිතයෙන් විශාල පංගුවක් ආරක්ෂක විදයම් සඳහා වැය කරනු ලැබීය. උපයනවාට වඩා විශාල ප‍්‍රමාණයක් වැය කළ, ඒ මගින් අති විශාල වෙළඳ ශේෂ අර්බුදයකට ලක්වුණු ග‍්‍රීසිය ගැලවිය නොහැකි ණය අර්බුදයක පැටලූනි.
ග‍්‍රීසියේ අර්බුදයෙන් අපට ඉගෙන ගත හැකි පාඩම් බොහෝය. රටකට මුල්‍යමය සක්‍යතා චක‍්‍රයක් මෙන්ම, නිෂ්පාදන සක්‍යතා චක‍්‍රයක් ද වේ. සමාජ, ආර්ථික පිරිවැයේ අඩු කිරීමක් නොකර කිසිම රටකට දිගින් දිගට යුදමය වැය කිරීම් වැඩි කළ හැකි නොවේ. මේ ගැන නොසලකා කටයුතු කරන ඕනෑම රටක් ප‍්‍රබල ණය අර්බුදයක පැටලවේ. එයින් ගැලවීමට දේශපේ‍්‍රමය පමණක් ප‍්‍රමාණවත් වන්නේ නැත.
සංස්කාරක