බාණ කුසුම් (ළිං මැඬි දර්ශනයෙන් මිදුණු නාගරික දෘෂ්ටිවාදයකින් පෝෂිත නවකතාවක්.)

හෙට යනු අද දවසේ ප්‍රක්ෂේපනයකි, යන යථාව සෘජුවම ස්පර්ෂ කරන නවකතාවක් ලෙස බාණ කුසුම් මට හැඟේ. කත්‍යානා අමරසිංහ නවකතාව නැමති සාහිත්‍ය කතිකාව හසුරුවන්නේ මනා ස්ත්‍රී මුද්‍රාවක් තබමින් ද, නූතනත්වයට (එයට අයත් සියළු ඇඳුම් ආයිත්තම් වලින් සැරසී) සිය නිර්මාණ කුටියට පිවිසීමට සියළු දොරටු විවර කරමින් ද වේ. අතීතය ද වර්තමානය ද යා කරන සියළු සම්ප්‍රදායික වර පටවල් නූතනත්වයෙන් වර්ණ ගැන්වීමට ඇය සමත් වී ඇත. මීට සියවස් දෙකකට පෙරාතුව වැඩවසම් සමාජ වටපිටාවක වුවද, කලාව (ආගමික කලාවක් වුව ද), විමුක්ති මාර්ගයක් ලෙස මානවයාගේ ආත්මය ආඪ්‍ය කළ අයුරු හිත්තර නයිදේගේ හා ඔහුගේ දියණිය නිබ්බුතා තුලින් අපට පසක් කර දේ. වැඩවසම් ක්‍රමයේ සෘජු ගොදුරකට එහා ගිය එකී චින්තනය ස්වීකරණය කර ගැනීමනේ වද විඳින රූබරහාමි ආකාරයටම විසි එක් වන සියවසේ ජීවත් වන ඊනියා උසස් කුල අනුලා මැණිකේ ඒ චින්තන බරින්ම දුක් විඳින්නී ය. නිබ්බුතා සිය ආත්ම විමුක්තිය වෙනුවෙන් ගසන කැරැල්ල 21 වන සියවසේ තාන්‍යාට ද ගසන්නට සිදු වන්නේ ඇයි?
පුරාතන යුගයක රජ දරුවන් සෑදූ මහ සෑ සංකල්පය එලෙසින්ම ගෙන 21 වන සියවසේ දී බහු ජන ඡන්දයෙන් පත් වූ අගමැතිවරයාගේ උපන් දිනය වෙනුවෙන් ඇති තරම් මහ සෑයවල් ඉදිව ඇති අනුරාධපුරයේම ‘සඳ ගිරි සෑය” නමින් තනද්දී (උග්‍ර ආර්ථික අර්බුදයකට රට ඇද වැටී ඇති තත්වයක දී පවා) රූබරහාමි අනුලා මැණිකේ ලෙසත් නිබ්බුතා තාන්‍යා ලෙසත් හිත්තර නයිදේ ඩැනියෙල් ලෙසත් ප්‍රති නිර්මාණය යථාරතයම නොවන්නේද?
(ස්වර්ණ පුස්තක අවසාන වටයට තේරුණු කෘතියක් හෙයින් මෙම කෘතිය ගැන පුර්ණ ඇගයීමක් පසුව කිරීමට බලාපොරොත්තු වෙමි.)
-චන්ද්‍රරත්න බණ්ඩාර