පේ‍්‍රමානිශංස නවකතාව තුළින් නූතන යුගයේ සිට විනිවිදීමට උත්සාහ දරන බවක් පෙනෙනවා.

ඔබගේ පේ‍්‍රමානිශංස නවකතාව තුළින් ඉතිහාසයේ සැලකිය යුතු කාල පරාසයක් , නූතන යුගයේ සිට විනිවිදීමට උත්සාහ දරන බවක් පෙනෙනවා. එය ඔබ පාඨකයාට සමීප කරන්න උත්සාහ කරන්නේ පේ‍්‍රම කතාවක් ඇසුරෙන්. ඇයි එහෙම එළඹුමක් තෝරා ගන්නේ ?

පේ‍්‍රමය කියන්නේ හදවතේ උපදින නිර්මල හැඟිමක් පමණක්ම නොවේ. ඒ ආධ්‍යාත්මික කාරණයට වුවද සමාජ දේශපාලනික හැඩරුවක් තියෙනවා. එයින් අදහස් වෙන්නේ නෑ හැඟීම්වලට පමණක් මුල් තැන දුන් සාලිය අශෝකමාලා පන්නයේ  පේ‍්‍රම සම්බන්ධතා නෑ කියලා. මං කතා කරන්නෙ පොදු තත්ත්වය ගැනයි. ලංකාවේ පුරාතනයේ සිටම අද දක්වාම විවාහය කියන සාධකය ධනය හා බල සම්බන්ධතා පසුබිමින් තියෙන දෙයක්. ලංකාවේ පළමු වරට දෙමළ ප‍්‍රභූ පන්තියේ කෙනෙකු තමන් අයත් ජාතියට පිටස්තරව විවාහයක් කර ගත්තේ සර් මුතු කුමාරස්වාමි. ඔහුගේ පුතු ආනන්ද කුමාරස්වාමි ඒ මගම යනවා. පේ‍්‍රමය මත පදනම් වූ ඒ විවාහයන්ට ඔවුන් එතෙක් කරගෙන ගිය වෘත්තික හා සමාජ කාර්යභාරයන්ට බාධාවක් කර ගන්නේ නෑ. ඒ තෝරා බේරා ගැනීමට ඔවුන්ට හැකියාව ලැබෙන්නේ කල් ඇතුව වැඩවසම් ක‍්‍රමය පසු කර නැගී එන ලිබරල් වාදයේ අනුහසට ලකවීම නිසයි. සර් මුතුගේ විවාහය දෙමළ සම්ප‍්‍රදායික සමාජය හෙල්ලූම් කෑ අයුරු සමකාලීන සමාජ විද්‍යාඥයන් විස්තර කර තිබෙනවා. එහෙත් දකුණේ සිංහලයාගේ තත්ත්වය එයාකාර වෙන්නේ නෑ. ලංකාවේ වාමාංශික ව්‍යාපාරය ඉගැන් වූ යම් පාඩම් හැරුනු කොට තාමත් ලංකාවේ සිතුම් පැතුම් සකස් වෙන්නේ වැඩවසම් රාමුවක් ඇතුලේ. සර් මුතු කුමාරස්වාමිට සමගාමිව දකුනේ ජීවත් වූ පොරෝලිස් ගේ විවාහය සිදුවන්නේ ව්‍යාපාරික පවුල් කාටලයක් ඇතුලේ. (කාටලය මේ සඳහා ආචාර්ය කුමාරි ජයවර්ධන දෙන නමයි.* දෙමළ ප‍්‍රභූවට අයත් සර් මුතු කුමාරස්වාමි දැනුම , ධනය හා බලය යන කාරණා කල් ඇතුව සම්පූර්ණ කරගැනීමට සමත් වීම නිසා අන් කාරණා වලදී මෙන්ම පේ‍්‍රමය හා විවාහය යන කාරනා වලදීත් නිදහසක් භුක්ති විඳිනවා. සමාජ ජයග‍්‍රහණ ලබා ගැනීමේ අතීත තරඟ ආරම්භයේ දෙමළ ප‍්‍රභූව හා සිංහල ප‍්‍රභූව අතර තිබූ පරතරය මේ 21 වන සියවසේ දී වත් පිය වී නෑ. සයුරු හා නිරූ අතර පේ‍්‍රමයේ දීත් මේ පරතරය නිරූපණය වෙනවා.

ඔබගේ අනෙකුත් නවකතා වලට මෙන්ම මේ නවකතාවටත් මෙරට ජනවාගික ගැටළුව බලපෑම් කර තියෙනවා. ඇයි ඔබට ඉන් තවමත් මිදීමට නොහැකිව ඇත්තේ.?

පේ‍්‍රමානිශංස නවකතාවේ මූලික තේමාව සකස් වෙන්නේ ජනවාර්ගික ගැටළුව ඔස්සේ නෙවෙයි. එහෙත් ඔබ පැවසූ ආකාරයට ජනවාර්ගික ගැටළුව කෘතියේ සංදර්භයට යම් ආකාරයක බලපෑම් කර තිබෙනවා. මා සිතන ආකාරයට වාර්ගික නොසන්සුන්තා ,ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආදිය පිළිබඳ ගැටළු විසඳා ගන්නා තාක් මානව විමුක්තිය පිළිබඳ අදහස කල් යනවා. මම ඉතාම කුඩා කාලයේ පටන් වාමාංශික ව්‍යාපාරයේ ආනුභාවයට ලක් වූ කෙනෙක්. විශේෂයෙන් සමසමාජ ව්‍යාපාරය ඇසුරෙන්. ලංකාවේ පැරණි සම්භාව්‍ය ගනයේ වාමාංශික නායකයන් ඇසුරු කරන්නට ලැබුණු අවසන් පරපුර අපි. ඔවුන්ට සෘජු දේශපාලනය ගැන පමණක් නොව කලාව සාහිත්‍ය සමාජ සබඳතා විෂයෙහිත්  දෘෂ්ටිවාදී හා ශාස්ත‍්‍රීය මැදිහත් වීමක් කළ උදවිය. ඒ නිසාම මම දේවල් තේරුම් ගැනීමේ දී දේශපාලන දෘෂ්ටි කෝණය පළමු තැන්හිලා මම සලකනවා.

පසුගිය සමයේ සිංහල නවකතාකරුවන්ට තිබුණු චෝදනාවක් සමකාලීන සමාජයේ පැතිකඩ පිලිබද අවධානය යොමු නොවීම. සීමිත ක්ෂේත‍්‍ර කීපයක් මත පමණක් නූතන නවකතාව යැපෙන බව. මේ චෝදනාවෙන් ඔබ නිදොස් යැයි සිතනවද?

මේ චෝදනාව එතරම් නිවැරදි නැති බවයි මගේ හැඟීම. නවකතාව නැමති සාහිත්‍ය ශානරය අද පවතින්නේ එහි අත්‍යාවශ්‍ය සහායකයෙකු වන විචාරකයාගේ ඇල්ම බැල්ම නැතුවයි. මම මේ දිනවල ස්වර්ණ පුස්තක අවසන් වටයට නිර්දේශිත පොත් පහ ගෙන්වා ගෙන කියවනවා. ඔබ මා සමග කතා කරන විට ඉන් පොත් තුනක් කියවා හමාර කරමින් සිටියේ. ඒ පොත් තුනම පාහේ ඒකාකාරී නොවූ  ගැඹුරු සාහිත්‍ය සම්භාවනාවක නියැලෙනවා. පෙර නොවූ ආකාරයට අවශේෂ විෂයයන්ගේ නිර්ණායකයන් ගෙන් පවා ආලෝකයක් ලබන බවක් පෙනෙනවා. එක පොතක් චිත‍්‍රශිල්පයේ උපස්ථිතික වාදය වැනි දෙයක් මනාව උපයෝගී කරගන්නවා. තව එකක් සාංදෘෂ්ටික වාදය. තව එකක් පුරාතනය ක‍්‍රමිකත්වය සහාසිකව බිඳ වට්ටා පුරාතනය යනුවෙන් යමක් නැවත නිරිවචනය කර ගැනීම ගැන විවේචනාත්මක දෘෂ්ටියක් හෙලන එකක්.. පශ්චාත් යටත් විජිත වාදී සමයේ දේශපාලනය විසින් ඇති කරන ලද අර්බුදය බොහෝ නිර්මාණ කරුවන් හොඳින් නිර්මාණගත කරන බවයි මගේ අදහස. මමත් අයත් වන්නේ මේ ප‍්‍රවාහයේ ආනුභාවයට ලක් වූ කාණ්ඩයට බවයි මම අදහස් කරන්නේ.

ඉතිහාසය මොන විදිහටද වර්තමානය තේරුම් ගන්න බලපාන්නේ?

යටගියාව කියන්නේ මියගිය දෙයක් නෙවේ.  එය කාලය හා අවකාෂය අතර සබඳතාවක් නිර්මාණය කරනවා. අනාගතය නිර්මාණය කර ගන්නට එය අනිවාර්යයෙන්ම අවශ්‍යයි. එහෙත් ගැටළුව ඇත්තේ යටගියාව අර්ථ නිරූපණය කරන ආකාරයේයි. එය වාර්ගික දෘෂ්ටියකින් බලා අර්ථ නිරූපනය කිරීම තමයි පශ්චාත් යටත් විජිත යුගයේ බොහෝ ප‍්‍රශ්න වලට මුල. ඉතිහාසය නම් විෂයයට අදාල විද්‍යාත්මක විශ්ලේෂණ ක‍්‍රම වේද බැහැර කර තමන්ගේ ජාතියට ආගමට පමණක් නොව තමා අයත් කුලයට පවා අනුකූල වනසේ ඉතිහාසය අර්ථ නිරූපණය කර ගන්නවා. මේ මහා විනාෂයේ එක් පදනම් ගලක් මේ ඉතිහාස විකෘතිය.

අපේ රටේ අනාගතය අතීතයෙන් කැඩිල නන්නත්තාර වුණාට අනිත් රටවල් එහෙම නෑ. මේ ඔබෙ නවකතාව තුළ තියෙන වැකියක්. ඇයි අපේ අනාගතය අතීතයෙන් කැඩී වෙන් වුණේ. අනෙක් රටවල් අතීතයත් එක්ක කරන ගනුදෙනුව මොකක්ද?

රටක ඉතිහාසයක තියෙන්නෙ ජයග‍්‍රහණ විතරක් නම් එහි ඉන්නෙ වීරයො විතරක් නමි ඒ ඉතිහාසය හරි ම දුප්පත් කියලා ප‍්‍රකට කියමනක් තියෙනවා. ඉතිහාසය කියන්නෙ මනුෂ්‍ය ජීවිත ගෙවී ගිය ආකාරය පිළිබඳ කතාන්තරය. එය තුල ජයග‍්‍රහණ මෙන්ම පරාජයනුත් තියෙනවා. මෙම පරාජයේ කොටස බාරගන්න බැරිනම් ඒක ගැටලූවක්. ඇයි අපට ඉතිහාසය වැදගත් වෙන්නේ. ‘මතකය අමතක කළ විට යටගියාව විදේශයක් වෙයි.’ (උයැබ එයැ පැපදරහ සි දෙරටදඑඑැබල එයැ ච්ිඑ ඉැජදපැි ් දෙරුසටබ ක්බා* කියලා ඬේවිඞ් ලොවින්තාල් ඉතිහාසඥයා එතුමාගේ ්‍යසිඑදරහ ්බා ඔයැදරහ  කෘතියේ සඳහන් කරලා තියෙනවා. යටගියාව දෙස විවේචනාත්මක චින්තනයකින් යුතුව බලන්නට පුරුදු වුන විට අපේ අනෙකා කෙරේ වන ක්‍රෝධය වෙනුවට මේ බිම ගොඩ නැගීමට අනෙකා දැක්වූ දායකත්වය අපට හමුවෙනවා. මෙම කෘතියේ ප‍්‍රධාන චරිත දෙක වන සයුරු හා නිරූ සදාකලෙික ස්මාරකයක් වැනි ශ්‍රේෂ්ඨ පුරුෂයෙකු ඇවිද ගිය ගමන් මගේ යළි ගමන් කරන්නට උත්සාහ කරනවා. ඔවුන් ඒ සඳහා විෂයීය දැනුම ලබා ගන්නේ සතර අගතියෙන් තොර නව්‍ය චින්තනයක් නිශ්පාදනයට දායක වූ පුරාවිද්‍යාඥයන් හතර දෙනෙක් ඇසුරේ. යටගියාවේ දයලෙක්තික ස්වභාවය ඉතිහාසයට පමණක් නොව වර්තමානයටත් ගලපා ගන්න උත්සාහ කරනවා. ඉතිහාසය හුදු ශාස්ත‍්‍රීය විෂයයකින් ඔබ්බේ පවතින එදිනෙදා කාර්යයන්ට අදාළ භාවය ගැන බෙහෙවින් සංවේදී  එකක්. අද එම විෂය දේශපාලනීකරණය වීම තුල පුරාජේරුවක් එහෙම නැත්නම් අනෙකා හෙලා දැකීමක් සඳහා පමණයි යොදා ගන්නේ. දීර්ඝ

මෙම නවකතාව ලියන්න ඔබට වසර හයක පමණ කාලයක් ගත වූ බව එක් තැනකදී ඔබ පවසනවා. ඒ  දීර්ඝ කාලය තුලදී ඔබ මේ කතාවත් එක්ක කළ ගනුදෙනුව කුමක්ද?

මේක ටිකක් තරමක් ලොකු ආඳෙක් දමනය කරගන්නවා වගේ තරමක් අමාරු වැඩක් වුණා. එකකට එකක් වෙනස් ආවේණිකතා සහිත විෂයයන් ගණනාවක විෂය ක්ෂේත‍්‍රයන් ගණනාවක් ඇසුරේ තේමාව ගොඩ නගා ගැනීම පරෙස්සමට කළ යුතුව තිබුණා. මම මේ සඳහා ආවේෂයක් ගන්න ක්ෂේත‍්‍ර චාරිකාවල යෙදුනා. මගේ අතීත පුරා විද්‍යාත්මක හැදෑරීම් යළි ස්මරණය කර ගන්න මගේ ගුරුවරුන්ගෙන් යලි විමසුවා. බොහෝ පත පොත කියෙව්වා. අත්දැකීම් බහුල මිතුරන් හා පරිනත උදවිය සමග ගනුදෙනු කළා. විෂයට අදාළ චිත‍්‍රපට ආදිය සිය ගණනක් නැරඹුවා.

මෙම කතාවේ කතා නායිකාව වන නිරූ සුවිශේෂී චරිතයක්. ඒ චරිතය හරහා මේ නවකතාවට ඔබ බොහෝ බලපෑම් කරනවා. එම චරිතය ගොඩ නගන්න යථා ලෝකයේ දී ඔබට බලපෑම් කළේ කවුද?

නිරු පරමාදර්ශ ගණනාවක් නියෝජනය කරන්නට මා නිර්මාණය කළ ස්මාරකයක් කියන්න පුළුවන්. මා කලෙක මාර්ග ආයතනයේ සේවය කරද්දී කුමාරස්වාමි පරම්පරාවට යම් ඥාතිත්වයක් තිබුණු දැනුමැති දැරියක් මට ඇසුරු කරන්න ලැබුණා. අප පුරාවිද්‍යාව හදාරද්දී  විවෘත මනසක් තිබුණු තවත් තරුණියක් මුණ ගැසුනා. එමෙන්ම මා ජීවත්වන ටොරොන්ටෝ නුවර අප ඇසුරු කරන පූර්ණ සමලිංගික ජීවිතයක් ගත කරන යොවුන් යුවලකගේ අදහස් උදහසුත් මට බලපෑවා. මේ සියල්ලත් මගේම ප‍්‍රාර්ථනා ලෝකයේ නොසපිරුණු වින්දනීය අවකාශය මෙසේ සැපිරිය යුතු යයි මා සිතන ආකාරයත් නිරූ නැමති චරිතය සකසා ගැනීමට මට බලපෑවා.

ඔබ මේ කෘතියේ එන චරිත සිදුවීම් ,ස්ථාන ඉතිහාසය හා බැඳී තියෙනවා. ඉතිහාසය වැදගත් භූමිකාවක් ඉටුකරන ප‍්‍රබන්ධයක් තුළ පුතිනිර්මාණය බොහොම සියුම් විදිහට කළ යුතු දෙයක්. එතැනදී එකී ඉතිහාසයට හානි නොවන්නට ඔබ අනුගමනය කළ උපක‍්‍රම මොනවාද?

මෙම කෘතිය ප‍්‍රබන්ධයක් වුනාට මෙහි ඇත්ත සිදුවීම් චරිත නාම එසේම තියෙනවා. මගේ ගුරුවරයා වූ පුරාවිද්‍යාඥ මහාචාර්ය සේනක බණ්ඩාරනායක එක චරිතයක්. තව එහෙම අය ඉන්නවා. ඔබ කියන අයුරු යටගියාව ප‍්‍රබන්ධයකට ගන්නා විට ප‍්‍රබන්ධකරුවාට එය අදාළ සංදර්භයෙන් ගලවා වෙන අරුතක් සම්පාදනය කරන්න සදාචාරමය අයිතියක් නැහැ. විශේෂයෙන් යටගියාව නිවැරදිව කියවා ගැනීමේ අසමත්කම තිස් අවුරුදු යුද්ධයකට පිටුබලවූ යථාර්තයක් තුල. ලංකාවේ පුරාවිද්‍යාව එක්තරා කඩ ඉමකදී විශිෂ්ටයන් සිව්දෙනෙකුගේ නායකත්වය යටතේ පුළුල් බවක් අත්පත් කරගන්නවා. ඒ මහාචාර්ය සේනක බණ්ඩාරනායක, ආචාර්ය සිරාන් දැරණියගල, ආචාර්ය රෝලන්ඞ් සිල්වා සහ මහාචාර්ය සුදර්ශන් සෙනවිරත්න . මම ඔවුන් සහ ඔවුනගේ ආනුභාවය ලැබූ පිරිසකගෙන් ශිල්ප හැදෑරුවේ. යටගියාව එයට හිමි  සංදර්භයේ තබා විග‍්‍රහ කරන්න අවශ්‍ය ශික්ෂණය ලැබුවේ එතුමන්ලාගෙන්.

ඔබ මෙම නවකතාවේ විෂය ක්ෂේත‍්‍රය ගැන තවදුරටත් පැවසුවොත්…

මම ගමක ඉපදිලා අනුක‍්‍රමයෙන් උප නගර හා අග නගරය හරහා මහා නගරයට පැමිණුනු කෙනෙක්. මෙම මහා නගරය කියන ඒකකයේ රජයන ෆැන්ටසියෙනුත් යථාර්තයෙනුත් ප‍්‍රමුදිත වූ කෙනෙක්. මේ නාගරික සංකල්පය තුල ජාති වාදයට, ආගම්වාදයට, අනෙකාට තැනක් අහිමි කරන දුර්ගූණයට ඉඩක් නෑ. එහි ඇත්තේ සියලූ දෙනා සිය පුද්ගලභාවයට අදාළ කාරණා බැහැර නොකොට පොදු තරඟයකට යොමු වීම. මං දැන් ලෝකය දකින්න උත්සාහ කරන්නේ මෙහි රජයන යථාව හරහා. එහෙත් මම ගමේ සිට ගෙන ආ ආත්ම දැක්ම මුලූමනින්ම දමනය කරගන්න බැරි කමත් තියෙනවා. සයුරු මම වන්නේත්, නිරූ මගේ පරමාර්ථය වන්නේත් එහෙයින්. ඒ දෙදෙනාගේ පරස්පරය වනාහි මගේ යථාව හා පරමාර්ථය අතර පරතරයයි.